Articles

හඹා එන යහකම්





සංස්කරණය





එම්. එස්. එම් ඉම්තියාස් යූසුෆ් සලෆි





පරිවර්තනය: මාහිර් රම්ඩීන්





හඹා එන යහකම්





මාහිර් රම්ඩීන්





الَّذِي خَلَقَ الْمَوْتَ وَالْحَيَاةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا وَهُوَ الْعَزِيزُ الْغَفُورُ





නුඹලා අතුරින් කවරෙකු ක්‍රියාවෙන් උතුම් ද යන්න පිරික්සනු පිණිස ඔහු මරණය හා ජීවිතය නිර්මාණය කළේය. තවද ඔහු අති බලසම්පන්නය. අති ක්ෂමාශීලීය.





(අල්-කුර්ආන් 67:2)





මෙලොව ජීවිතය සදාතනික නොවේ. මතු ලොව ජීවිතය සදාතනික වනුයේ. මතු ලොව ජීවිතයෙහි ජයග්‍රහණය හා පරාජය තීරණය කරන වේදිකාවක් වශයෙන් මෙලොව ජීවිතය පිහිටා ඇත. එබැවින් මෙය පරීක්ෂාවේ වේදිකාවකි.





ස්වර්ගයේ ජීවත් විය යුතු අපි, ෂෙයිතාන්ගේ කුමන්ත්‍රණ හේතුවෙන් ස්වර්ගයෙන් පහළ කරනු ලදුව මිහිතලයේ ජීවන් වන්නට සලස්වනු ලැබීය.





නබි ආදම් (අලෙයිහිස් සලාම්) තුමා හා හව්වා (අලෙයිහස් සලම්) තුමිය යන දෙදෙනාව ස්වර්ගයෙන් අල්ලාහ් පහළ කළ අවස්ථාවේ,





قُلْنَا اهْبِطُوا مِنْهَا جَمِيعًا فَإِمَّا يَأْتِيَنَّكُمْ مِنِّي هُدًى فَمَنْ تَبِعَ هُدَايَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ





නුඹලා සැවොම මෙතැනින් (ස්වර්ගයෙන් මිහිතලයට) බසිවු. මගෙන් නුඹලාට මඟ පෙන්වීමක් ආ කල්හි කවුරුන් මාගේ මඟ පෙන්වීම අනුගමනය කරන්නේ ද ඔවුනට බියක් නැත. තවද ඔවුන් දුක් නොවෙති යැයි ද අපි ප්‍රකාශ කළෙමු. (අල්-කුර්ආන් 2:38)





قَالَ اهْبِطُوا بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ وَلَكُمْ فِي الْأَرْضِ مُسْتَقَرٌّ وَمَتَاعٌ إِلَى حِينٍ، قَالَ فِيهَا تَحْيَوْنَ وَفِيهَا تَمُوتُونَ وَمِنْهَا تُخْرَجُونَ.





නුඹලා (ස්වර්ගයෙන් මිහිතලයට) බසිවු. නුඹලාගෙන් සමහරුන් අන් සමහරුන්ට සතුරුය. නුඹලාට මිහිතලයෙ හි වාසස්ථානයක් හා වින්දනයක් (යම්) කලකට ඇතැයි ඔහු(අල්ලාහ්) ප්‍රකාශ කළේය.





එහි ම නුඹලා ජීවත් වන්නෙහුය. එහි ම නුඹලා මරණයට පත් වන්නෙහුය. එයින්ම නුඹලා පිට කරනු ලබන්නෙහුය යැයි ඔහු පැවසුවේය. (අල්-කුර්ආන් 7:24, 25)





ආදම් (අලෙයිහිස් සලාම්) තුමා හා හව්වා (අලෙයිහස් සලාම්) තුමිය මිහිතලයට පහළ කරනු ලැබූ විට මෙලොව ජීවිතයේ ජයග්‍රහණය ලබනු පිණිස කරුණු දෙකක් පිළිබඳව මිනිස් වර්ගයාට අල්ලාහ් නියෝග කර තිබීම අවදානයට ගත යුතුයි.





පළමුවැන්න ජනයා ජීවත් විය යුත්තේ කෙසේ ද? ක්‍රියා කළ යුත්තේ කෙසේ ද? යන්න මඟ පෙන්වීමේ වගකීම් තමන් සතු යැයි ද කවරෙකු එම මඟ පෙන්වීම අනුගමනය කළේ ද ඔහු දුකට හෝ කනස්සල්ලට පත් නොවන බව අල්ලාහ් ප්‍රතිඥා දී ඇත.





දෙවැන්න මෙම මිහිතලයේ නියමිත කාලයක් ජීවත් වී මිය ගිය පසු නැවත ජීවය ලබා දී අවදි කරනු ලබයි. පසුව විනිශ්චය කරනු ලබන්නේ යැයි අවවාද කර ඇත.





ආදරය හා කරුණාව ඇති රහ්මාන් මිනිස් සමාජය යහ මඟින් එපිට නැඹුරු වන සෑම අවස්ථාවකම ඔවුනට යහමඟ පෙන්වීම පිණිස නබි වරුන් එවා දේව වැකි පහළ කොට තම ප්‍රතිඥාව තහවුරු කළේය. අවසාන වශයෙන් නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ලෝ වැසියනට අවසන් ධර්ම දූතයා වශයෙන් එවා, අවසන් ධර්මය වන අල්-කුර්ආනය පහළ කොට තම මඟ පෙන්වීම සම්පූර්ණ කළේය. මෙම මූලධර්මය මෙහි හොඳින් වටහා ගෙන ඉහත සඳහන් (67:2) වැකිය අවබෝධ කර ගත යුතුයි.





මෙම වැකිය ජීවිතය හා මරණය අතර වූ කාලය තුළ යහ ක්‍රියාවන් කරනුයේ කවරෙකු ද යන පරීක්ෂණයට සෑම කෙනෙකුම මුහුණ දිය යුතු යැයි පැහැදිලි කර සිටියි.





යහ ක්‍රියාවන් යනු කුමක් ද? එය තීරණය කළ හැක්කේ කෙසේ ද? යන්න අවබෝධ කර ගත්තේ නම් මෙම පරීක්ෂණයෙන් ජය ගැනීම පහසු වනු ඇත.





ඉමාම් ෆුලෙයිල් ඉබ්නු ඉයාල් (රහ්මතුල්ලාහි අලෙයිහි) මෙම වැකිය විග්‍රහ කරන විට අල්ලාහ් වෙනුවෙන් අවංක ලෙසින් නිවැරදිව ක්‍රියා කිරීමයි. නිවැරදි ලෙසින් යනු නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ සුන්නාහ්වට අනුව ක්‍රියා කිරීම වේ යැයි සඳහන් කළහ. (මූලාශ්‍රය: තෆ්සීර් බගවි)





එබැවින් යහ ක්‍රියාවන් යනු දැහැමි ක්‍රියාවන් යන අර්ථය වේ. ජීවිතය හා දැහැමි ක්‍රියාවන් කුමක් ද යන්න පෙන්වා දීම පිණිසය ආදර්ශමත් ධර්ම දූතයකු ලෙස නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ව අල්ලාහ් පහළ කළේ.





උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.





لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُو اللهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللهَ كَثِيرًا





අල්ලාහ්ව ද පරමාන්ත දිනය ද අපේක්ෂා කොට අල්ලාහ්ව අධික ලෙස මෙනෙහි කරන්නන්ට අල්ලාහ්ගේ රසූල් වරයාගෙන් නුඹලාට අලංකාරවත් ආදර්ශයක් ඇත. (අල්-කුර්ආන් 33:21)





අල්ලාහ්ව ද පරමාන්ත දිනය ද විශ්වාස කර මෙලොව ජීවිතයේ පරීක්ෂණ වලින් ජයග්‍රහණය ලැබිය යුතු නම් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ව සියලු කටයුතු වල දී ආදර්ශමත් ලෙස ගෙන ක්‍රිය කළ යුතු වේ. එබැවින් අපි කරන සියලු යහකම් පිළිගත යුතු නම් කොන්දේසි දෙකක් ඇත.





පළමුවැන්න ඉක්ඃලාස් (චිත්ත පාරිශුද්ධිය) වේ. එනම් මිනිසුන්ගෙන් පැසසුම හෝ මූණිච්චාව හෝ අපේක්ෂා නොකර අල්ලාහ්ගේ තෘප්තිය පමණක් අපේක්ෂා කරමින් ඔහු පිරිනැමූ දැහැමි ක්‍රියාවන් හි කැමැත්ත ඇති කර ගනිමින් අවංක චේතනාවෙන් ක්‍රියාවන් යොමු කිරීමය.





දෙවැන්න නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ මඟ පෙන්වීම පිළිපැදීමය. එනම් නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ක්‍රියා කර පෙන් වූ පිළිවෙතක් කිසිදු අඩු වැඩීමකින් තොරව වෙනස් කිරීමකින් තොරව ක්‍රියා කිරීමත් එතුමාණන් නොපෙන් වූ කිසිදු ක්‍රියාවක් සිදු නොකර අත හැරීමයි.





මෙම කොන්දේසි දෙක පිළිවෙළට පිහිටෙන විටය දේව විශ්වාසවන්තයෙකුගේ ක්‍රියාවන් දැහැමි ක්‍රියාවන් බවට පිළිගනු ලබන්නේ! එම ක්‍රියාව මෙලොවට ද මතු ලොවට ද ප්‍රයෝජනවත් වනු ඇත.





උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.





فَاسْتَجَابَ لَهُمْ رَبُّهُمْ أَنِّي لَا أُضِيعُ عَمَلَ عَامِلٍ مِنْكُمْ مِنْ ذَكَرٍ أَوْ أُنْثَى....





එකල් හි නුඹලා අතුරින් පිරිමියෙකුගෙන් හෝ ස්ත්‍රියකගෙන් හෝ යම් (යහපත්) ක්‍රියාවක් කළ අයගේ ක්‍රියාව සැබැවින්ම මම අපතේ නොයවමි යැයි ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිළිතුරු දුන්නේය..... (අල්-කුර්ආන් 3:195)





උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.





مَنْ عَمِلَ صَالِحًا مِنْ ذَكَرٍ أَوْ أُنْثَى وَهُوَ مُؤْمِنٌ فَلَنُحْيِيَنَّهُ حَيَاةً طَيِّبَةً وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُمْ بِأَحْسَنِ مَا كَانُوا يَعْمَلُونَ





පිරිමියෙකුගෙන් හෝ කාන්තාවකගෙන් තමන් විශ්වාස වන්තයෙකුව සිට කවරෙකු යහකම් කළේ ද ඔහුට අපි සැපවත් ජීවිතයක් ප්‍රදානය කරන්නෙමු. ඔවුන් කරමින් සිටි දෑහි යහපත හේතුවෙන් අපි ඔවුනට ඔවුන්ගේ වේතනය පිරි නමන්නෙමු. (අල්-කුර්ආන් 16:97)





දැහැමි ක්‍රියා කරන දේව විශ්වාසවන්තයින්ගේ මෙලොව හා මතු ලොව ජීවිතය යහ ජීවිතයක් බවට පත් කිරීමේ වගකීම අල්ලාහ් දරයි. එමෙන්ම ඔවුන්ගේ කුසල් ආරක්ෂා සහගතව පවතී යැයි ප්‍රතිඥා දරයි. අල්ලාහ්ගේ ප්‍රතිඥාව බොරුවක් නොවෙයි. ඔවුන් කළ දැහැමි ක්‍රියාවන් ඉදිරිපත් කර එවායේ අනුසාරයෙන් උදව් උපකාර හෝ අවශ්‍යතාවන් ඉල්ලා ප්‍රාර්ථනා කළේ නම් එම ප්‍රාර්ථනාවන් පිළිගෙන අවශ්‍යතාවන් සපුරාලීමටත් අල්ලාහ් සූදානම්ව සිටියි. (මෙයට වසීලා යැයි පවසනු ලැබේ.)





ඇත්තෙන්ම අල්ලාහ් වෙනුවෙන්ම ජීවත් වී ඔහු වෙනුවෙන්ම සේවය කර ඔහුගේ ධර්ම දූතයා පෙන්වා දුන් අයුරින් යහකම් කළවුන්ගේ ජීවිතයේ අවසාන භාගයේ අල්ලාහ් මලක් වරුන් එවා ඔවුනට ශුභාරංචි දන්වා සිටියි.





උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.





يَا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ، ارْجِعِي إِلَى رَبِّكِ رَاضِيَةً مَرْضِيَّةً ، فَادْخُلِي فِي عِبَادِي، وَادْخُلِي جَنَّتِي.





(යහකම් කළවුන් දෙස බලා) ඕ! සැනසුමට පත් ආත්මය, (නුඹ) තෘප්තිමත් වී (අල්ලාහ්ගේ) තෘප්තියට ද ලක් වෙමින් නුඹ නුඹගේ පරමාධිපති වෙත හැරී යවු. එබැවින් මාගේ (යහ) ගැත්තන් අතරට නුඹ ඇතුළු වවු. මාගේ ස්වර්ගයට ද නුඹ ඇතුළු වවු. (අල්-කුර්ආන් 89:27-30)





إِنَّ الَّذِينَ قَالُوا رَبُّنَا اللهُ ثُمَّ اسْتَقَامُوا تَتَنَزَّلُ عَلَيْهِمُ الْمَلَائِكَةُ أَلَّا تَخَافُوا وَلَا تَحْزَنُوا وَأَبْشِرُوا بِالْجَنَّةِ الَّتِي كُنْتُمْ تُوعَدُونَ، نَحْنُ أَوْلِيَاؤُكُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الْآَخِرَةِ وَلَكُمْ فِيهَا مَا تَشْتَهِي أَنْفُسُكُمْ وَلَكُمْ فِيهَا مَا تَدَّعُونَ، نُزُلًا مِنْ غَفُورٍ رَحِيمٍ





සැබැවින්ම අපගේ පරමාධිපති අල්ලාහ් යැයි පවසා අනතුරුව (එහි) ස්ථාවරව සිටියවුන් නම් ඔවුන් වෙත මලක්වරු පහළ වී නුඹලා බිය නොවවු. තවද නුඹලා දුක් නොවවු. නුඹලා ප්‍රතිඥා දෙනු ලබමින් සිටි ස්වර්ගය පිළිබඳව සතුටු වවු.





මෙලොව ජීවිතයෙහි ද මතු ලොවෙහි ද අපි නුඹලාගේ (උදව්කාර) භාරකරුවන්ය. තවද නුඹලා ආශා කරන දෑ එහි නුඹලාට ඇත. තවද නුඹලා අයැදින දෑ ද එහි නුඹලාට ඇත.





අතික්ෂමාශීලී පරම කරුණාභරිතයාණන්ගෙන් වූ සංග්‍රහයක් වශයෙනි. (අල්-කුර්ආන් 41:30-32)





මෙවැනි ශුභාරංචි අතුරින් තවත් පැත්තක් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පහත සඳහන් අයුරින් ප්‍රකාශ කළහ.





දේව විශ්වාසය ඇති ගැත්තෙකු මෙලොව අත හැර දමා මතු ලොවට පිවිසෙන විට (ඔහුගේ මරණාසන්නයේ) සූර්යයා මෙන් දීප්තියෙන් යුත් සුදුවන් වතකින් යුත් මලක්වරු අහසින් පහළට බසිති. ඔවුන් අතර ස්වර්ගයේ කෆන් වස්ත්‍ර ද ස්වර්ගයේ කස්තූරි ද තිබේ. එම ගැත්තාගේ දෑසට පෙනෙන දුරකින් එම මලක්වරු සිටිති. ප්‍රාණය අත්පත් කර ගන්නා මලක්වරයා එම ගැත්තාගේ හිස දෙසින් වාඩි වී ‘අහෝ! දැහැමි ආත්මය (සැනසුම ලත් ආත්මය) අල්ලාහ්ගේ සමාව හා තෘප්තිය වෙත බැහැර වනු මැනවයි පවසයි. ක්ෂණිකව එම ගැත්තාගේ ආත්මය ජල බඳුනකින් ස්වල්පයක් හැළෙන්නාක් මෙන් (කිසිදු දුෂ්කරතාවකින් තොරව) බැහැර වන එය එම මලක්වරයා ගනු ඇත.





(තවත් වාර්තාවක් අනුව) එම ගැත්තාගේ ප්‍රාණය වෙන් වීමත් සමග අහස් හා මිහිතලය අතර වූ මලක්වරු ද අහසේ ඇති සියලු මලක්වරු ද එම ආත්මයට ප්‍රාර්ථනා කරනු ඇත. ඒ සියලු මලක්වරු තමන් ඉදිරියට එම ආත්මය ගෙන යන්නැයි අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරති.





මලකල් මව්ත්ගේ දෑතට එම ගැත්තාගේ ආත්මය ලැබුණු විගස ස්වල්පයක් හෝ ප්‍රමාද නොවන ආත්මාවන් එම ස්වර්ග කෆනයෙහි එය තැන්පත් කර ආරක්ෂා කර තබයි. මෙයමය අල්ලාහ් අල්-කුර්ආනයේ මෙසේ පවසනුයේ.





وَهُوَ الْقَاهِرُ فَوْقَ عِبَادِهِ وَيُرْسِلُ عَلَيْكُمْ حَفَظَةً حَتَّى إِذَا جَاءَ أَحَدَكُمُ الْمَوْتُ تَوَفَّتْهُ رُسُلُنَا وَهُمْ لَا يُفَرِّطُونَ





ඔහුය තම ගැත්තන්ට ඉහළින් සර්ව බලය යොදන්නා. නුඹලාට ආරක්ෂකයින් ඔහු යවන්නේය. නුඹලාගෙන් කෙනෙකුට මරණය පැමිණි විට අපගේ දේව දූතයෝ ඔහුගේ ප්‍රාණය අත්පත් කර ගනිති. ඔවුන් කිසිදු අතපසු කිරීමක් නොකරති. (අල්-කුර්ආන් 6:61)





ඉන් පසුව මිහිතලයේ සිටියාට වඩා ඉතා සුවඳැතිව එම ආත්මය අහස දෙසට ගෙන යති. එය දකින මලක්වරු සියල්ල මෙම අගනා සුවඳැති ආත්මාව කාගේ දැයි විමසති. මොහුගේ පුත් මොහුගේ යැයි ලොවෙහි ඔහුට පිරිනැමූ අලංකාර නාමය පවසති. පළමුවැනි අහසට යනවාත් සමඟම මඟ සලසා දෙන්නැයි මලක්වරු ඉල්ලා සිටිති. ඔවුනට මඟ සලසා දෙනු ලැබේ. මෙලෙස සෑම අහසකම සිදු වේ. හත් වැනි අහසට එම ආත්මය ගිය විට මාගේ දැහැමි ගැත්තාගේ නාමය ඉල්ලීය්යූන් (දැමියන්ගේ නාම ලේඛන) වාර්තාවෙහි ලියන්නැයි අල්ලාහ් පවසයි.





كَلَّا إِنَّ كِتَابَ الْأَبْرَارِ لَفِي عِلِّيِّينَ، وَمَا أَدْرَاكَ مَا عِلِّيُّونَ ، كِتَابٌ مَرْقُومٌ، يَشْهَدُهُ الْمُقَرَّبُونَ.





එසේ (නුඹලා සිතන පරිදි) නොව සදැහැමින්ගේ ලේඛනය ඉල්ලිය්යූන්හිය. ඉල්ලිය්යූන් යනු කුමක් දැ?යි නුඹව දැනුවත් කළේ කුමක් ද? (එය) ලියා නිම කරනු ලැබූ පොතකි. (අල්ලාහ්ට) සමීපතයින් (වන මලක්වරු) එයට සාක්ෂි දරති. (අල්-කුර්ආන් 83: 19-21)





එම ගැත්තාගේ නාමය එහි සඳහන් වූ වහාම එම ආත්මය පොළොවට ගෙන යන්න. (හේතුව මාගේ ප්‍රතිඥාව ඉටු විය යුතුයි.) මහ පොළොවෙන්ම මැව්වෙමු. මහ පොළොවටම නැවත යවන්නෙමු. මහ පොළොවෙන්ම නැවත නැගිටුවන්නෙමු. මේ අනුව එම ආත්මය ගෙනැවිත් එම ගැත්තාගේ ශරීරයට යා කරනු ඇත. එවිට එම ගැත්තාව මිනී වළෙහි තැන්පත් කර සියල්ලෝම නිවෙස් වෙත බලා යන පා හඬ අසා අවසන් වූ පසුව භයානක මලක් වරුන් දෙදෙනෙකු පැමිණ ඔබේ රබ් (පරමාධිපති) කවු දැ?යි විමසති. එවිට එම ගැත්තා මාගේ රබ් අල්ලාහ් යැයි පවසයි.





ඔබේ දහම කුමක් දැ?යි විමසති. මාගේ දහම ඉස්ලාම් යැයි පවසයි. ඔබ වෙත යැවූ මෙම මිනිසා කවුදැ?යි විමසති. ඔහු අල්ලාහ්ගේ දූතයාණන් වේ යැයි පවසයි. මේ බව ඔබ දන්නේ කෙසේ දැ?යි විමසති. එයට ඔහු අල්ලාහ්ගේ පුස්තකය හැදෑරුවෙමි. අල්ලාහ්ව විශ්වාස කළෙමි. ඔහුව සත්‍යය කළෙමි යැයි පිළිතුරු දෙයි.





(නැවතත් ඔහුගෙන්) ඔබේ රබ් කවු ද? ඔබේ දහම කුමක් ද? ඔබේ නබි වරයා කවු ද? යැයි විමසති. මෙයයි එක් සැබෑ දේව විශ්වාසියෙකුට මුහුණ දෙන්නට සිදු වන අවසාන පරීක්ෂණය වනුයේ. එනමුත් අල්ලාහ් මෙසේ පවසා සිටියි.





يُثَبِّتُ اللهُ الَّذِينَ آمَنُوا بِالْقَوْلِ الثَّابِتِ فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الْآَخِرَةِ وَيُضِلُّ اللهُ الظَّالِمِينَ وَيَفْعَلُ اللهُ مَا يَشَاءُ





අල්ලාහ් විශ්වාස කළවුන් ව මෙලොව ජීවිතයේ හා මතු ලොවෙ හි ස්ථාවර වදනින් ස්ථාවරවත් කරන්නේය. තවද අල්ලාහ් අපරාධ කරුවන්ව නොමඟ යෑමට හරින්නේය. තවද ඔහු අභිමත කරන දෑ කරන්නේය. (අල්-කුර්ආන් 14:27)





මලක් වරුගේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන විට මාගේ රබ් අල්ලාහ්, මාගේ දහම ඉස්ලාම්, මාගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) යැයි පිළිතුරු සපයයි.





එවිට ‘මාගේ ගැත්තා ඇත්ත කතා කළේය. ඔහු වෙනුවෙන් ස්වර්ගයේ ඇතිරිලි අතුරන්න. ස්වර්ග ඇඳුමින් සරසන්න. ස්වර්ගයේ දොරටුවක් විවෘත කරන්න යැයි පවසන හඬක් අහසින් පැමිණෙයි. ස්වර්ගයේ සුවද එම ගැත්තා ආඝ්‍රාණය කරයි. දෑසට පෙනෙන තරමට ඔහුගේ මිනී වළ විශාල කරවයි.





එවිට සුවඳ ගැල් වූ අලංකාර ඇඳුමක් ඇඳ ගත් මිනිසෙකු ඔහු වෙත පැමිණෙයි. ‘අල්ලාහ්ගේ තෘප්තියත් සදාතනික සැපසම්පත් හි කේන්ද්‍ර ස්ථානය වන ස්වර්ගය ලබන්නට සුබ පතමි. මෙයය ඔබට ප්‍රතිඥා දුන් දිනය වන්නේ යැයි පවසයි.





එම විශ්වාසවන්තයා එම මිනිසා දෙස බලා ඔබටත් අල්ලාහ්ගේ ආශිර්වාදය ලැබේවා! ඔබ කවුද? ඔබේ කඩවසම් මුහුණම සුබාරංචි දන්වා සිටින්නක් යැයි පවසයි. ‘මමය (ඔබ ලොවෙහි උපයා ගත්) දැහැමි ක්‍රියාවන්. අල්ලාහ් ට අවනත වී යහකම් කිරීමෙහි යුහුසුලු භාවයත් පාපයන් කිරීමෙහි පසුබෑමත් නුඹ පෙන්වා සිටියෙහිය. අල්ලාහ් ඔබට යහ ප්‍රතිඵල ලබා දෙත්වා! යැයි එම කඩවසම් මුහුණ ඇති අය පවසයි.





අනතුරුව ස්වර්ගයේ දොරටුව හා නිරයේ දොරටුව පෙන්වයි. ඔබ අල්ලාහ්ට අවනත නොවූයේ නම් මෙයයි ඔබ යා යුතු මාර්ගය වනුයේ යැයි නිරයේ දොරටුව පෙන්වා අල්ලාහ් ඔබට එය වෙනස් කළේය යැයි පවසා ස්වර්ගයේ දොරටුව පෙන්වයි. ස්වර්ගයේ සැප සම්පත් දුටු වහාම එම ගැත්තා යා! අල්ලාහ්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඉක්මන් කරනු මැනව!යි පවසයි. සන්සුන් වන්න යැයි ඔහුට පවසනු ලැබේ.





තවත් වාර්තාවකට අනුව අහෝ! අල්ලාහ් මා ලබා ඇති සැප සම්පත් ගැන පවසන්නට මා මාගේ පවුලේ උදවිය වෙත එවනු මැනව! යැයි එම විශ්වාසවන්තයා පවසයි. තමන්ට ඉතා ආදරය කරන අය විසින් අවදි කරන තුරු මනමාලයෙකු නිදාගන්නාක් මෙන් අල්ලාහ් ඔබව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින අවදි කරවන තෙක් නිදා ගන්නැයි මලක්වරු දෙදෙනාම ඔහුට ප්‍රකාශ කරනු ඇතැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළහ. දේව විශ්වාසවන්තයෙකුගේ අවසන් තීන්දුව මෙලෙස පෙන්වනු ලැබේ. නමුත් පාපියෙකුගේ තත්ත්වය මෙයට පටහැනිව පිහිටේවි යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පවසා සිටි දීර්ඝ හදීසයෙහි දැකිය හැකි වන්නේය. (මූලාශ්‍රය: අහ්මද්, අබූ දාවූද්, නසාඊ, හාකිම්, ඉබ්නු මාජා)





ජනාසාවක් (සන්දූක් හි) තබනු ලැබ එය තම උරහිස් මත ඔසවා ගෙන යනු ලබන විට ජනාසාව යහකම් කර ඇත්නම් මාව ඉතා ඉක්මණින් රැගෙන යන්නැයි පවසයි. එය යහකම් නොකළ තත්ත්වයේ තිබේ නම් අහෝ! විනාශය! මා ගෙන යන්නේ කොහේදැයි අසයි. මෙලෙස පවසනු ලබන හඬට මිනිසා හැර අන් සියලු දෑ සවන් දෙයි. මිනිසා එයට සවන් දුන්නේ නම් සිහි විකල් වී වැටෙනු ඇතැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූහ. (මූලාශ්‍රය : බුහාරි)





මරණයෙන් පසු ජීවිතය උදෙසා කළ යහකම් වල ප්‍රතිඵල ප්‍රාණය අත්පත් කර ගන්නා අවස්ථාවේ දී හෝ මිනී වළ තුළ හෝ අල්ලාහ් පෙන්වන්නේ යැයි මෙම හදීස් පැහැදිලි කරයි. තවද අල්ලාහ්ගේ දූත නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පහත සඳහන් පරිදි ප්‍රකාශ කළහ.





ජනාසාව වෙත කරුණු තුනක් අනුගමනය කරයි. ඉන් දෙකක් නැවත හැරී එනු ඇත. එක් කරුණක් පමණක් ජනසාව සමඟ ඉතිරිව පවතී. එනම් ඔහුගේ පවුල ඔහුගේ ධනය හා ඔහු කරන යහකම්. මෙම තුනෙන් ඔහුගේ පවුල හා ඔහුගේ ධනය නැවත හැරී යයි. ඔහුගේ යහකම් පමණක් ඔහු සමඟ රැඳෙනු ඇත. (වාර්තා කරු: අනස් -රළියල්ලාහු අන්හු-, මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)





මිනිසා ජීවත් වන විට ඔහුගේ පවුල වෙනුවෙන් ජීවත් විය. පවුල වෙනුවෙන් හරි හම්බ කළේය. ප්‍රාණය වෙන්වීමත් සමඟම ඒ දෙක ඔහු සමඟ නොඑනු ඇත. පැය 24ක් තුළ ජනාසාව වළ දැමීම සම්බන්ධව බිරිය දරුවන් ඇතුළුව ඥාතීන් කතා කර ගනිති. නෑ දෑකම් සියල්ල මිනී වළ දක්වා පැමිණෙයි. පසුව එය ද හැරී යයි.





ඔවුන් රෑ දහවල් මහන්සියෙන් සොයා ගත් දේපළ වස්තුව හරි හම්බ කළ ධනය සියල්ල අතහැර දමා කෆන් රෙදි කඩ තුනක් සමඟ තනිව යනු ඇත.





ඔහුගේ දේපළ හා වස්තුව බිරිය දරුවන් බෙදා ගනිති. ජීවිතයේ අනෙක් අදිරය ගැන ඔවුන් සිතති. කාලය ගෙවී ගියත්ම ඔහු ගැන අමතක වී යන්නට ද පුළුවන. පවුලට නව භාරකරුවෙකු අවශ්‍ය බව ද තර්ක කරන්නට පුළුවන. මෙයය යාථාර්ථය. මිය ගිය අය වෙනුවෙන් සැමදා දුක් වී කදුළු සලන්නට කිසිවෙකු නොමැත. නියමිත කාලයක් ගෙවී යත්ම සාමාන්‍ය තත්ත්වයට පත් වෙති.





මෙම සිද්ධියය මතු ලොවෙහි සිදු වන්නට යන්නේ. මව පියා සැමියා බිරිය නෑකම් දෙමව්පියන් දරුවන් යන සම්බන්ධකම් කිසිවක් එදින කිසිවෙකු විසින් අවධානය යොමු නොකරති. තමන්ව ආරක්ෂා කර ගත හැක්කේ කෙසේ දැ?යි පමණක් ඔහු ආත්මාර්තකාමීව එහි පසු වෙයි.





අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.





فَإِذَا جَاءَتِ الصَّاخَّةُ (33) يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ (34) وَأُمِّهِ وَأَبِيهِ (35) وَصَاحِبَتِهِ وَبَنِيهِ (36) لِكُلِّ امْرِئٍ مِنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِيهِ (37)





මහා හඬ පැමිණි විට එම (විනිශ්චය) දිනයේ මිනිසා තම සහෝදරයා තම මව තම පියා තම බිරිය තම දරුවන් අතහැර දමා පලා යයි. එදින ඔවුන් අතර සෑම මිනිසෙකුම (සෙසු අයගෙන්) තමන්ව හරවා දමන කරුණු ඇත. (අල්-කුර්ආන් 80: 33-37)





මෙම යථාර්ථය අවබෝධ කොට මධ්‍යම පතිපදාවෙන් යුතුව භාවයකින් මෙලොවෙ හි හා මතුලොව වෙනුවෙන් ජීවත් වන මෙන් ඉස්ලාම් නියෝග කරයි. මෙය මහත් වූ පරීක්ෂණයකි. පරීක්ෂණයක් නොමැතිව ස්වර්ගය පහසුවෙන් නොලැබෙයි. මෙම පරීක්ෂණයන් සඳහාම මිනිසා මවනු ලැබීය. මෙයින් සමත් වීමය දේව විශ්වාසවන්තයකුගේ ඉලක්කය වනුයේ. මෙය ඉහත සඳහන් අල්-කුර්ආන් වැකිය අවධාරණය කරමින් සිටියි.





මෙම පරීක්ෂණයන්ගෙන් අපව සදහටම මුදවා ගනුයේ අප කරන්නා වූ දැහැමි ක්‍රියාවන්ය. එබැවින් යහකම් උදෙසා අධික ලෙස උනන්දු විය යුතුයි.





යහකම් වර්ග දෙකකි.





إِنَّا نَحْنُ نُحْيِي الْمَوْتَى وَنَكْتُبُ مَا قَدَّمُوا وَآثَارَهُمْ وَكُلَّ شَيْءٍ أحْصَيْنَاهُ فِي إِمَامٍ مُبِينٍ





සැබැවින්ම අපමය මියගියවුනට ප්‍රාණය දෙනුයේ. ඔවුන් ඉදිරිපත් කළ දෑ ද ඔවුන් තබා ගිය සලකුණු ද අපි සටහන් කරන්නෙමු. සෑම දෙයක්ම පැහැදිලි පුස්තකයේ එය ගණන් බලා තබා ඇත්තෙමු. (අල්-කුර්ආන් 36:12)





මිනිසා ඉදිරිපත් කරන යහකම් හා අයහකම් වාර්තා කරනු ලබනවාක් මෙන්ම ඔහු වෙනත් අය වෙනුවෙන් කළ යහකම් හා අයහකම් සඳහා වූ පෙර නිදසුන් ද සටහන් කරනු ලැබේ යැයි මෙහි සඳහන් කරන බව ඉමාම් ඉබ්නු කසීර් ඉමාම් බගවී ඉමාම් කුර්තුබී (රහ්මතුල්ලාහි අලෙයිහිම්) යන අය විග්‍රහ කරති. එබැවින් යහකම් සඳහා දිරිගැන්වීම් දෙයාකාරයකින් දැකිය හැක.





1. මිනිසා තමන් වෙනුවෙන් කර ගන්නා වූ යහකම්





එනම් සලාතය ඉටු කිරීම උපවාසයේ නිරතවීම zසකාත් දීම දානමාන කිරීම වැනි නැමදුම් ඇතුළුව තමන්ටම කියා දැහැමි පවුලක් ගොඩ නැගීම තමන්ගේ දැනුම හැකියාව ජනයා ප්‍රයෝජනය ලබන අයුරින් සලස්වා ගැනීමය.





2. සමාජ සුබ සාධනය සඳහා කරන යහකම්





එනම් දුගී දුප්පතුන් අනාථයින් වැන්දඹුවන් අවශ්‍යතාවන්ගෙන් පෙළෙන්නන් වැනි උදවියට උදව් උපකාර කර සමාජය අවදි කරවීමේ ක්‍රියාවන් මෙහෙයවීමයි. පහත සඳහන් හදීස් වෙත අවධානය යොමු කරමු.





عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ "إِذَا مَاتَ الْإِنْسَانُ انْقَطَعَ عَنْهُ عَمَلُهُ إِلَّا مِنْ ثَلَاثَةٍ إِلَّا مِنْ صَدَقَةٍ جَارِيَةٍ أَوْ عِلْمٍ يُنْتَفَعُ بِهِ أَوْ وَلَدٍ صَالِحٍ يَدْعُو لَهُ" (أخرجه مسلم)





මිනිසා මිය ගිය විට කරුණු තුනක් හැර ඔහුගේ සෙසු සියලු ක්‍රියාවන් ඔහුගෙන් නතර වී යයි.





    ඔහු කළ ස්ථාවර තැන්පතු පරිත්‍යාගය (සදකා ජාරියා)


    (ජනයා වෙනුවෙන් අතහැර ගිය) ප්‍රයෝජනවත් දැනුම


    ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කරන දැහැමි දරුවා





(මේවා තුළින් මිය ගිය පසුත් කුසල් හිමිවෙමින් පවතී) යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. (මූලාශ්‍රය: මුස්ලිම්)





عَنْ أَبِي هُرَيْرَةَ قَالَ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِنَّ مِمَّا يَلْحَقُ الْمُؤْمِنَ مِنْ عَمَلِهِ وَحَسَنَاتِهِ بَعْدَ مَوْتِهِ عِلْمًا عَلَّمَهُ وَنَشَرَهُ وَوَلَدًا صَالِحًا تَرَكَهُ وَمُصْحَفًا وَرَّثَهُ أَوْ مَسْجِدًا بَنَاهُ أَوْ بَيْتًا لِابْنِ السَّبِيلِ بَنَاهُ أَوْ نَهْرًا أَجْرَاهُ أَوْ صَدَقَةً أَخْرَجَهَا مِنْ مَالِهِ فِي صِحَّتِهِ وَحَيَاتِهِ يَلْحَقُهُ مِنْ بَعْدِ مَوْتِهِ (سنن ابن ماجه)





දේව විශ්වාසවන්තයෙකු මිය ගිය පසු ඔහුගේ ක්‍රියාවන් හා යහකම් අතුරින් ඔහුට හිමිවන දෑ වනුයේ ඔහු (ජනයාට) උගන්වා දුන් දැනුමත් එය (ජනයා අතර) පැතිර වීමත් දැහැමි දරුවෙකු අත හැර යාමත් (දැනුමෙන් පිරුණු) එක් පුස්තකයක් ලියා අතහැර යාමත් මස්ජිදයක් ඉදි කිරීමත් මගියන්ට මඩමක් ඉදි කර දීමත් ජල පහසුකම් සලසා දීමත් ජීවත් ව නිරෝගීව සිටිය දී තම ධනයෙන් පරිත්‍යාග කිරීමත් වේ. මේ සඳහා ප්‍රතිඵල ඔහුට ලැබෙමින්ම පවතී යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කළහ. (මූලාශ්‍රය: ඉබ්නු මාජා)





මස්ජිද් ඉදි කිරීම පාසල් ගොඩ නැගීම ශිෂ්‍යාධාර පිරිනැමීම පර්යේෂණාගාරයන් නිර්මාණය කිරීම පොදු මධ්‍යස්ථාන ඉදි කිරීම පුස්තකාලයන් තැනීම අනාථ නිවෙස් ඉදි කිරීම ජල ව්‍යාපෘතීන් ඇති කිරීම වැනි සමාජයට සෙත සැලසෙන මූලික සේවාවන් සලසා දීමත් සමග සෙසු ජනයාද මේ සඳහා දිරි ගැන්වීමට ආදර්ශමත් පුද්ගලයෙකු ලෙස මුස්ලිම්වරයෙකු සිටිය යුතුයි.





තමන් වෙනුවෙන් හා සෙස්සන් වෙනුවෙන් කරන්නා වූ මෙම ක්‍රියාවන් සඳහා වූ ප්‍රතිඵල මෙලොවේ සිට මතුලොව දක්වා ලැබෙමින් පවතී. ඔහුගේ මෙම සේවාවෙ හි දැහැමි දරුවෙකු බිහි කිරීමත් අමතක කළ හැකි කරුණක් නොවේ. ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කරන ඔහුගේ නම සමාජයට හඳුන්වා දෙන යහපත් දරුවෙකු ලෙස හැර දමා යා යුතුයි.





ජරීර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කරයි. (දිනක්) මධ්‍යාහ්න වේලාවක නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා සමඟ අපි සිටියෙමු. එවිට පාවහන් පැලද නොගත් අඩු පාඩු සහිත ඇඳුම් ඇඳ ගත් අඩ නිරුවතින් ඉරුණු කපු රෙදි හෝ වෙනත් රෙදි වර්ගයක් ඇඳගත් පිරිසක් තම ගෙලෙහි කඩු එල්ලා ගනිමින් අල්ලාහ්ගේ දූත (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියහ. ඔවුන්ගෙන් බහුතරයක් මුළර් ගෝත්‍රයට අයත් විය. නැත, ඔවුන් සියල්ලෝම මුළර් ගෝත්‍රිකයින්ය. ඔවුන්ගේ දිළිඳුකම දුටු නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ මුහුණ වෙනස් විය. ක්ෂණිකව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා (අසහන කාරී තත්ත්වයකින්) නිවසට ඇතුළු වී පසුව එළියට ඇවිත් බිලාල් රළියල්ලාහු අන්හු තුමාට අණ කර සිට බිලාල් තුමා ද අදාන් පවසා ඉකාමත් ද පැවසීය. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සලාතය මෙහෙයවා ජනයාට දේශනාවක් කළහ. (එම දේශනාවෙහි) ....





“මනුෂ්‍යයිනි, එකම ආත්මයකින් නුඹලාව නිර්මාණය කළ නුඹලාගේ පරමාධිපතිට නුඹලා බිය භක්තිමත් වවු. තවද ඔහු එතුළින් එ(ම ආත්මයෙ)හි සහකාරිය නිර්මාණය කළේය. ඔවුන් දෙදෙනාගෙන් පුරුෂයින් හා ස්ත්‍රීන් අධිකව ව්‍යාප්ත කළේය. නුඹලා කවරෙකු පිළිබඳව එකිනෙකා විමසා ගනුයේ ද එවන් වූ අල්ලාහ්ට බිය භක්තිමත් වවු. තවද උපතින් වූ ඥාති සම්බන්ධතාව (විසන්ධි කිරීම)ට ද (නුඹලා බිය වවු.) සැබැවින්ම අල්ලාහ් නුඹලා කෙරෙහි නිරීක්ෂාකාරීය. (අල්-කුර්ආන් 4:1)





විශ්වාස කළවුනි, අල්ලාහ්ට බිය භක්තිමත් වවු. සෑම ආත්මයක්ම හෙට දින සඳහා (තමන්ට) පෙරටු කර ගත් දෑ පිළිබඳව අවධානය යොමු කරවු. තවද අල්ලාහ්ට බිය භක්තිමත් වවු. සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව් අභිඥානවන්තයාය. (අල්-කුර්ආන් 59:18)“





යන වැකි පාරායනය කර පෙන්වා මුළර් ගෝත්‍රයට දානමාන කරන මෙන් පැවසූහ. එවිට රට ඉඳියක කොටසක් හෝ පරිත්‍යාග කරන මෙන් උපදෙස් දුන්හ.





එවිගස නබි අනුගාමිකයින් තමන් සතුව තිබූ දීනාර් හා දිර්හම් ඇඳුම් පැලඳුම් ඉරිගු එක් සාඃ එකක ප්‍රමාණයක් බැගින් ද රට ඉඳි එක් සාඃ එකක ප්‍රමාණයක් බැගින් ද පරිත්‍යාග කළහ. එවිට අන්සාරි සහාබිවරයෙකු තම මල්ල පිරෙන්නට බඩු බාහිරාදිය ගෙන ආවේය. එය උසුලා ගත නොහැකිව ඔහුගේ අත වෙව්ලීය. හේතුව ඔහු විසින් එය ඉසිලීමට නොහැකි වූ බැවිනි.





තවදුරටත් ජනයා තමන්ගේ දානමානයන් රැගෙන පැමිණෙමින් සිටියහ. පසුව ආහාර ද්‍රව්‍යයන්ගෙන් හා ඇඳුම් පැලදුම් වලින් ගොඩවල් දෙකක් රැස් වී තිබෙනු මම දිටිමි. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ මුහුණ ද මනමාලියෙකු මෙන් දීප්තිමත්ව තිබෙනු දිටිමි. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) කවරෙකු ඉස්ලාමයේ එක් අලංකාර ක්‍රියාදාමයක් බිහි කරන්නේ ද ඔහුට ඒ සඳහා වූ කුසල් ද ඔහුගෙන් පසුව ඒ අනුව ක්‍රියා කළවුන්ගේ කුසල් ද ඇත. ඒ වෙනුවෙන් ඔවුන්ගේ කිසිදු කුසලක් අඩු නොවේ.





එසේම කවරෙකු ඉස්ලාමයේ එක් නපුරු ක්‍රියාදාමයක් බිහි කරන්නේ ද ඔහුට ඒ සඳහා වූ පාපය ද ඔහුගෙන් පසුව ඒ අනුව ක්‍රියා කළවුන්ගේ පාපය ද ඇත. ඒ අනුව ක්‍රියා කළ අයගේ පාපයෙන් කිසිදු අඩුවක් නොවේ යැයි පැවසූහ. (මූලාශ්‍රය: මුස්ලිම්)





මුස්ලිම් වරයෙකු ශ්‍රේෂ්ඨ මඟ පෙන්වන්නෙකුව සිට පරාර්ථකාමීව පොදු යහපත රකින පුද්ගලයෙකු ලෙස ජීවත් විය යුතුයි යන අරමුණු සහගත මනෝභාවය අල්ලාහ්ගේ දූත නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පෙන්වා දුන්හ.





කවරෙකු ඉස්ලාමයේ අලංකාර යහ ක්‍රියාවක් කොට තවත් කෙනෙකුව එමගින් දිරිමත් කරන අයුරින් ජීවත් වන්නේ ද ඔහුට ඒ සඳහා කුසල් හිමිවනවාක් මෙන්ම එම යහපත් සේවය ක්‍රියාත්මක කළවුන්ගේ යහපත ද සදහටම ලැබෙමින් පවතී යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ජනයාව දිරි ගැන්වූහ. එබැවින් මෙම සීමාවෙන් එපිට මුස්ලිම්වරයෙකු ඉවත් ව ජීවත් නොවිය යුතුයි.





හඹා එන යහකම්





මාහිර් රම්ඩීන්





මිය ගිය ඇත්තන්ට ප්‍රයෝනය ගෙන දෙන කරුණු.





මව් පියන් ඇතුළු පවුලේ සාමාජිකයෙක් මරණයට පත් වූ විට ඔහුව නාවා කෆන් කර සලාතය ඉටු කර වළ දැමීමත් සමඟම අපගේ වගකීම් අවසන් නොවෙයි.





මිය ගිය ඇත්තන් වෙනුවෙන් දරුවන් පවුලේ සාමාජිකයින් කළ යුතු තවත් ඇතැම් වගකීම් ඇත.





ඒවා පිළිබඳව දැන් අපි අවධානය යොමු කරමු.





ණය පියවීම





දෙමාපියන් ඇතුළු ඥාතීන් කවරෙකු හෝ ණය ගැත්තෙකු ලෙස මරණයට පත් වූයේ ද? ඒ පිළිබඳව කිසියම් ආකාරයකින් දැනුවත් කර තිබේ ද? යන්න අවධානය කළ යුතුයි.





ණය ගැත්තෙකු ලෙස සිටියේ නම් ප්‍රථමයෙන්ම ණය පිය වීම සඳහා ඉදිරිපත් විය යුතුයි. ණය නොපියවා මරණය පත් වීම පාපයකි.





“මිය ගිය අයගේ දේපළ බෙදා හැරීමට පෙර ඔහුගේ ණය ද අන්තිම කැමැත්ත ද ඉටු කරන මෙන් අල්ලාහ් අණ කර සිටියි. (4:11 වැකිය බලන්න)





අල්ලාහ්ගේ දූතයාණන්, ජනසාz සලාතය ඉටු කිරීමට පෙර මිය ගිය තැනැත්තා ණය ගැත්තෙකු ලෙස මරණය පත් වූයේ ද යන්න විමසා සිටි බවට පහත සඳහන් හදීසය පවසා සිටියි.





අපි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා සමඟ සිටින අවස්ථාවක එක් ජනාzසාවක් ගෙන එන ලදී. ගෙන ආ අය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට සලාතය මෙහෙය වන මෙන් පවසා සිටියහ. මොහු කෙරෙහි කුමක් හෝ ණයක් ඇත්තේ දැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විමසූහ. එවිට නැතැයි කියන ලදී. කිසියම් වස්තුවක් අතහැර දමා ගියේ ද? යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) නැවතත් ඇසීය. එවිට ද නැතැයි කියන ලදී. එවිට එම ජනාzසාවට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සලාතය මෙහෙය වීය.





ඉන්පසුව තවත් ජනාzසාවක් ගෙන එන ලදී. සලාතය මෙහෙයවන මෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගෙන් ඉල්ලා සිටියේය. මොහුට ණය කිසියක් තිබේ දැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විමසූහ. එසේය යැයි කියන ලදී. කිසියම් හෝ වස්තුවක් අතහැර දමා ගියේ දැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විමසූහ. ඩිනාර් 3ක් අතහැර දමා ගොස් ඇතැයි පිළිතුරු දෙනු ලැබූ විට එම ජනාzසාවට නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් සලාතය මෙහෙය වූහ.





ඉන් පසුව තවත් ජනාසාවක් ගෙන එන ලදී. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට සලාතය මෙහෙයවන මෙන් ඉල්ලා සිටියෝය. මොහු කුමක් හෝ දෙයක් අතහැර ගියේ දැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) විමසන විට නැතැයි පිළිතුරු දෙන ලදී. මොහුට කිසියම් ණයක් ඇත්තේ දැයි නබි (සල්ලලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විමසා සිටියහ. එවිට දිනාර් 3ක් ණය ඇත්තේ යැයි පිළිතුරු දෙන ලදී. (ණය ගැත්තාට සලාතය ඉටු නොකර) ඔබම සලාතය මෙහෙයවන්නැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පැවසූහ.





එම මොහොතේම එහි සිටි අබූ කතාදා (රළියල්ලාලහු අන්හු) තුමා අල්ලාහ්ගේ දූතයාණනි, මම එම ණය භාර ගනිමි. මොහු කෙරෙහි ඔබ සලාතය මෙහෙයවන්නැයි ඉල්ලා සිටියහ. පසුව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ජනාසා සලාතය මෙහෙය වූහ.





(වාර්තාකරු: සලමත් ඉබ්නු අක්වා රළියල්ලාහු අන්හු, මූලාශ්‍රය: බුහාරි, අහ්මද්, නසාඊ, තිර්මිදි)





පාපක්ෂමාව අයැදීම





අපට පෙර මරණයට පත් වූ මුස්ලිම්වරුන් වෙනුවෙන් හා මුඃමින්වරුන් වෙනුවෙන් පාපක්ෂමාව ඇයැද ප්‍රාර්ථනා කිරීමේ පුරුද්දක් කවදත් අප පිළිපැදිය යුතුයි.





رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ





අපගේ පරමාධිපතියාණනි, අපට ද අපට පෙර විශ්වාසයෙන් ඉදිරියට ගිය අපගේ සහෝදරයන්ට සමාව දෙනු මැනව. (අල්-කුර්අන් 59: 10)





 



Recent Posts

“ෂරිආ” පිළිවෙත පිළිබඳ ...

“ෂරිආ” පිළිවෙත පිළිබඳ විමසුමක්

ඉස්ලාම් හි උපවාසයේ අර ...

ඉස්ලාම් හි උපවාසයේ අරමුණ

ඉස්ලාමීය දැක්මෙන් ප්‍ ...

ඉස්ලාමීය දැක්මෙන් ප්‍රේමවන්තයින්ගේ දිනය මව්ලවි යූසුෆ් ඉම්තියාස්