Articles

 





උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.





وَتَعَاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَى وَلَا تَعَاوَنُوا عَلَى الْإِثْمِ وَالْعُدْوَانِ وَاتَّقُوا اللهَ إِنَّ اللهَ شَدِيدُ الْعِقَابِ





යහපත කෙරෙහි ද බිය බැතිභාවය කෙරෙහි ද නුඹලා එකිනෙකා උදව් කර ගනිවු. පාපය කෙරෙහි ද සීමාව ඉක්මවීම කෙරෙහි ද එකිනෙකා උදවු කර නොගනිවු. තවද අල්ලාහ් ට බිය බැතිමත් වවු. සැබැවින්ම අල්ලාහ් දඬුවම් දීමෙහි දැඩිය. (අල්-කුර්ආන් 5:2)





· හජ් හා උම්රා කණ්ඩායම් ගෙන යෑමේ නීති





ආගමික නීති රීති වලට අනුකූලව හජ් හා උම්රා සඳහා කණ්ඩායම් ගෙන යෑම පිළිබඳ ව නිවේදනයන් කිරීම එයට අදාළ ආයතන හා මධස්ථානවලට අනුමැතිය ඇත.





හජ් වන්දනා කරුවන්ගේ අයිතිය සුරැකීම පිණිස ද ඔවුන් සමඟ එකඟතාවෙන් යුතුව වන්දනාමානයන් ඉටු කිරීම පිණිස ද හජ් කණ්ඩායම් ගෙන යන ආයතන හෝ මධ්‍යස්ථාන හෝ එම රජයෙන් බැංකු රක්ෂණ ඉල්ලා සිටීමට ද අනුමැතිය ඇත.





හජ් වන්දනා කරුවන් හජ් හෝ උම්රා වන්දනාවන් හි නීති රීති ප්‍රවේශමින් ඉටු කරනු පිණිස ද ඔවුනට දහම පිළිබඳ මඟ පෙන්වීම පිණිස ද ආගමික් විද්වතුන් හා ආගමික ප්‍රචාරකයින් හජ් හා උම්රා කණ්ඩායම් සමඟ මෘදු ලෙස කටයුතු කිරීම ආගමානු ගත කර ඇත. කිසිදු කොන්දේසියකින් තොරව ඔවුන් කිසියම් මුදලක් හෝ පරිත්‍යාගයන් ලබා දුන් විට එය ඔහුට ලබා ගත හැක.





කුසල් හා ප්‍රතිඵල අපේක්ෂා කරන මුස්ලිම්වරයෙකු ශෝභන ලෙස පමණට වඩා මුදල් අය කර හජ් හා උම්රා කණ්ඩායම් මෙහෙයවන ආයතන සමඟ හජ් ඉටු කිරීම සුදුසු නොවේ. හේතුව එහි නාස්තිය හා ශෝභනය ගැබ් ව ඇති බැවින් හා නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා හා තම සහගාමීන් තම පරමාධිපතිට දැක් වූ යටහත් පහත් භාවයේ හා දිළිඳුභාවයේ මඟ පෙන්වීමට ද පටහැණි බැවිනි.





· රාජ්‍ය අනුග්‍රහයෙන් හජ් ඉටු කිරීමේ නීතිය.





හජ් හි සේවයේ නියැළෙන සියලුම කම්කරුවන්ට රාජ්‍ය අනුග්‍රහයෙන් හජ් ඉටු කිරීමට අනුමැතිය ඇත. එමෙන්ම එහි අවශ්‍යතා සපුරා ගැනීම පිණිස ඉස්ලාමීය වියතුන් ධර්ම ප්‍රචාරකයින් හා අනුමැතිය ලත් සෙසු ජනයාට ද එසේ රාජ්‍ය අනුග්‍රහයෙන් හජ් ඉටු කිරීමට අනුමැතිය ඇත.





හජ් වන්දනා කරුවන්ගේ සේවය පිණිස එහි සහභාගී වන ආරක්ෂක භටයින් වෛද්‍යවරුන් කම්කරුවන් සේවකයන් වැන්නන් ඔවුන් ව ගෙන්වා ගත් අය හෝ ඔහුට භාර ව සිටින අය අවසර නොදුන් තත්ත්වයේ ඔහු අනිවාර්යයෙන්ම හජ් ඉටු කිරීමට අධිෂ්ඨාන කළේ නම්, එසේ හජ් ඉටු කිරීමෙන් ඔහු නිරත වන සේවයේ යම් පැහැර හැරීමක් සිදු නොවන්නේ නම් භාරකරුවන්ගේ අනුමැතියෙන් තොරව එසේ හජ් ඉටු කිරීමට අනුමැතිය ඇත. නමුත් තමන් ඉටු කරන හජ් හේතුවෙන් තමන්ට පැවරුණු සේවයේ අතපසුවීම් හෝ බාධාවන් සිදු වේවි නම්, තමන් ඇති කර ගත් සේවා ගිවිසුමෙ හි ප්‍රයෝජනය ගෙන දෙනු පිණිස භාරකරුගේ හෝ ඔහු ව ගෙන්වා ගත් අයගේ අනුමැතියෙන් තොරව එසේ හජ් ඉටු කිරීම සුදුසු නොවේ.





හජ් හි සේවාවන් හි භාරකාරත්වය දරන්නෙකු හජ් සඳහා ඉහ්රාම් තැබුවේ නම් ඒ සඳහා තමන් ව ගෙන්වා ගත් අය ඔහුට අවසර දුන්නේ නම් තම හජ් වතාවන්ට ඉටු කරමින්ම තම සේවයේ නිරත වෙයි. ඒ සඳහා අනුමැතිය නොලැබුණ නමුත් ඔහු තමන් කෙරෙහි හජ් ඉටු කිරීම පිළිබඳ ව (යම් කිසි බාධාවක් මා වැළැක්වූයේ නම් එම මොහොතේම මම ඉහ්රාමයෙන් ඉවත් වෙමි) යැයි කොන්දේසි පනවා ගත්තේ නම් ඔහු ඉහ්රාමයෙන් ඉවත් වෙයි. ඒ සඳහා හද්යු ලබා දීමක් අවශ්‍ය නොවේ. එසේ කොන්දේසියක් නොතබා හජ් වගකීම ඉටු කරන බවට අධිෂ්ඨාන කර තිබුණේ නම් හද්යුල් මුහුසර් නම් හජ් වළක්වා ලැබූ හේතුවෙන් ලබා දිය යුතු හද්යු ලබා දී පසුව හිස මුඩු කොට පසුව ඉහ්රාමයෙන් ඉවත් විය යුතුයි.





හජ් සමයේ සේවාවන් සඳහා නියම කරන ලද්දන් ඔවුන් හජ් ඉටු කිරීමට අපේක්ෂා කර ඇතත් එසේ හජ් ඉටු කිරීමට තමන්ට අවසරය තිබේ ද නැද්ද යන්න ඔහු නොදන්නේ නම් මීකාත් හෙවත් සීමා මායිම් හි ඉහ්රාම් තැබීම ඔහුට අනිවාර්යය නොවේ. පසුව ඔහුට අනුමැතිය දෙනු ලැබී ඇති බවට දැන ගන්නට ලැබුණේ නම් තමන්ට අනුමැතිය ලැබුණු ස්ථානයේ ම ඉහ්රාම් තබා ගනී.





· හජ් හෝ උම්රා සඳහා කාන්තාවක් ගමන් කිරීමේ නීතිය





මහ්රම් හෙවත් විවාහ වීමට අනුමැති නොමැති අය සමඟ මිස හජ් උම්රා හෝ වෙනත් හේතුවක් මත කාන්තාවක් ගමන් කිරීම සුදුසු නොවේ. ඇය ආගමික ප්‍රචාරිකාවක් වුව ද වෛද්‍ය වරයෙක් වුව ද සේවිකාවක් වුව ද එමෙන්ම ඇය කුඩා වුව ද වැඩිහිටි අයෙකු වුව ද නීතිය පොදුය.





කෙනෙකුට හෙදියක් හෝ සේවිකාවක් හෝ සිටින්නී නම් ඔහු හජ් හෝ වෙනත් කටයුත්තක් සඳහා ඇය සමඟ යෑමට අපේක්ෂා කළේ නම් ඔහු අසලින් ඇය සමඟ සිටින්නට මහ්රම් කෙනෙක් නොමැති වූ විටක එමෙන්ම ඇයට ආරක්ෂිත ස්ථානයක් ඇති විටක ඇයව පමණක් රඳවා ගැනීමේ නොවැළැක්විය හැකි අවස්ථාවක් උදා වූ විටක ඔහුට ද එසේ සිදු කිරීමට හේතු වූයේ නම් මෙය එක් අත්‍යවශ්‍ය අවස්ථාවකි. එවිට දෙදෙනා විසින් සිදු විය හැකි ඛේදජනක සිද්ධීන් සිදු විය හැකි පාපයන්ගෙන් තමන් වළක්වා ගනු පිණිස තම පවුල සමඟ ඇයව ද කැටුවා ගෙන යෑමට අනුමැතිය ඇත.





· සීමා මායිම් වලට පැමිණීම





හජ් හා උම්රා සඳහා ඉහ්රාම් ඇඳීමේ සීමා මායිම් : දුල් හුලෙයිෆා, ජුහුෆා, කර්නුල් මනාසිල්, සාතු ඉර්ක් වේ.





ජිද්දාව අභ්‍යන්තර සීමා මායිමකි. එහි පදිංචිකරුවන් හා එහි අරමුණ කර ගනිමින් පැමිණි අය හැර වෙන කිසිවෙකුට එහි දී හජ් හෝ උම්රා සඳහා ඉහ්රාම් තැබීම සුදුසු නොවේ.





කවරෙකු හෝ හජ් කිරීම පිළිබඳ ව නිවැරදි අරමුණක් නොමැති ව හජ් හි ඉහ්රාම් තැබීමේ සීමා මායිම් පසු කරමින් ගොස් පසු ව ඉහ්රාම් තැබුවේ ද එවිට ඔහුගේ හජ් නිවැරදිය. නමුත් පිළිගනු ලැබූ හජ් වන්දනාවක් බවට පත් නොවේ. එසේ සිදු කිරීම තහනම් ක්‍රියාවකී. හේතුව මීකාත් හෙවත් සීමා මායිම් හි ඉහ්රාම් නොතබමින් අල්ලාහ්ගේ නියමයන් අබිබවා කටයුතු කළ හෙයින් ද විෂයයට අදාළ කරුණට පටහැණිව කටයුතු කළ හෙයින් ද වේ.





හජ් ඉටු කිරීමේ පැහැදිලි අරමුණකින් තොරව එසේ හජ් ඉටු කිරීමට ප්‍රවේශ වී පසුව හජ් හි ඉහ්රාමය තබා පසුව එය ගලවන්නට බලකරනු ලැබුවේ නම් එවිට ඔහු එය ගලවා සාමාන්‍ය ඇඳුමක් ඇඳ ගනී. පසුව ඇති වුණු බලපෑම ඉවත් වී ගිය විටක නැවත ඔහු ඉහ්රාමය බැඳ ගනී. මෙය හදවතින් තබන්නා වූ ඉහ්රාමයයි. පසුව ඔහු ඉහ්රාම් ඇඳුම අඳීයි. එවිට ඔහුගේ වතාවන් නිවැරදි වුව ද මුළුමනින්ම පිළිගනු නොලැබූ අඩුපාඩු ඇති දෙයක් බවට පත් වෙයි. විෂයය අදාළ නොවන ඊට පටහැණිව කටයුතු කළ හෙයින් පාපියෙකු බවට පත් වෙයි. එමෙන්ම මසා නිම කළ ඇඳුම් ඇඳීම හේතුවෙන් ඔහු ෆිද්යා ලබා දිය යුතු වේ.





කවරෙකු හෝ හජ් හා උම්රා සඳහා ඉහ්රම් බැද පසුව කිසියම් හේතුවකින් තම වතාවන් ඉටු කිරීමට තහංචියක් පවනු ලැබූ විටක ඔහු ‘මා බාධා කරනු ලැබූ විටක ඉහ්රාමයෙන් ඉවත් වෙමි යැයි කොන්දේසි පනවා ගත්තේ නම් ඔහු එයින් මිදෙයි. ඒ වෙනුවෙන් කිසිදු ෆිද්යාවක් ලබා දිය යුතු නැත.





එසේ ඔහු කිසිදු කොන්දේසියක් පනවා නොගත්තේ නම් ඔහු ඉහ්සාර් තත්ත්වයට පත්වේ. ඔහු ඉහ්සාර් හෙවත් හජ් වන්දනාව ඉටු කිරීමෙන් වළක්වනු ලැබූ හේතුවෙන් ලබා දිය යුතු හද්යු පිරිනමයි. පසුව හිස මුඩු කර ඉහ්රාමයෙන් ඉවත් වෙයි. හද්යු ලබා දීමට කිසිවක් නොලැබූ විටක හෝ හදියු ලබා දීමට නොහැකි වූ විටක හිස මුඩු කර ඉහ්රාමයෙන් මිදෙයි. ඒ වෙනුවෙන් කිසිදු වන්දියක් ලබා දිය යුතු නැත.





· ඉහ්රාම් සම්බන්ධ විශේෂ අවස්ථා





ඉහ්රාම් තබා ගත් කෙනෙකු තම ශරීරය හා ඇඳූම් සෝදා ගන්නා සුවඳැති සබන් ෂැම්පො වැනි දෑ හා එයට ආවේනික වෙනත් සුවඳ ද්‍රව්‍ය භාවිත කිරීමට අනුමැතිය ඇත. නමුත් එය සදුන් කස්තූරි අම්බර් වැනි මූල ද්‍රව්‍යයන්ගෙන් තොර වූවක් විය යුතුයි.





මින්ච් කොළ, කුංකුමං හෝ පලතුරු යුෂ වැනි මනා සුවඳක් ඇති ආහාර හා පානය ගැනීම ඉහ්රාම් පැලඳ ගත් කෙනෙකුට වරදක් නොවෙයි.





සුවඳ ගැන් වූ පසු වියළි ව ඇති ලේන්සු භාවිතයට ද අනුමැතිය ඇත. නමුත් සුවඳ ගැන් වූ පසු තෙතමනයෙන් යුත් දෑ භාවිත කිරීම නුසුදුසුය.





ඉහ්රාම් තත්ත්වයේ සිටි කෙනෙකු තවාෆ් කර හජ්රුල් අස්වද් ගල හෝ රුක්නුල් යමානී නම් ස්ථානය සිප ගැනීමට හෝ ස්පර්ශ කිරීමට අපේක්ෂා කළේ නම් ඔහු සුවඳ විලවුන් ගැල් වූ තෙතමනයෙන් යුත් තත්ත්වයේ පසුවේ නම් එසේ ස්පර්ශ කිරීම හෝ සිප ගැනීම සුදුසු නොවේ. නමුත් වියළි ව පවතී නම් එසේ කිරීම පිළිබඳ ව වරදක් නොවෙයි.





ඉහ්රාම් බැඳ ගත් අයෙකු කාන්තාවන්ගේ සායට සමාන ඉහළ කොටස බැඳ දමන ලැබූ අමතර රෙදි කඩක් පැලඳීම සුදුසු නොවේ.





ඉහ්රාම් තත්ත්වයේ සිටිය දී අවශ්‍යතාවක් ඇති වූ විටක කන නාසය ආවරණය කළ හැකි වැස්මක් භාවිත කිරීමට ද හිරු රශ්මියෙන් හෙවණ ලබන්නට කුඩයක් භාවිත කිරීමට ද අනුමැතිය ඇත.





· තවාෆ් හා සඃයු සම්බන්ධ විශේෂ අවස්ථා





පළමු මහලේ හෝ ඊට ඉහළින් ඇති මහල් හි තවාෆ් හා සඃයු ඉටු කිරීමට අනුමැතිය තිබුණ ද සුන්නාහ්ව හා වඩාත් යෝග්‍ය වනුයේ පහළම මහලේ තවාෆ් හා සඃයු ඉටු කිරීමය.





තවාෆ් හා සඃයු පා ගමනින් ඉටු කිරීම සුන්නාහ් ව වේ. කෙනෙකු ට යම් බාධාවක් තිබුණ ද එසේ නොතිබුණ ද රෝද පුටුවක් මත හෝ මෝටර පුටුවක් මත හෝ ප්‍රවාහනිකව තවාෆ් හා සඃයු ඉටු කිරීමට අනුමැතිය ඇත. හේතුව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පා ගමනින් ද ප්‍රවාහනිකව ද තවාෆ් කර ඇති බැවිනි.





සඃයු කරන ස්ථානය සංඛේතවත් ස්ථානයකි. එයට පමණක් ආවේණික වූ එහි නීති දැක ගත හැක. දැන් එය කඃබා මස්ජිදය තුළට පත් ව ඇත. එබැවින් සඃයු ඉටු කරන අවස්ථාවේ දී හජ් හා උම්රා සඳහා සඃයු ඉටු කරන ස්ථානයකි. නමුත් ඒ හැර වෙනත් අවස්ථාවල දී එය මස්ජිදයේ නීතිය අනුගමනය කෙරේ.





මස්ජිදුල් හරාමයට පිටතින් පවතින එළිමහන් ප්‍රදේශය සලාතය සඳහා සැලසුම් කරන ලද්දකි. එබැවින් මස්ජිදුල් හරාම් හි නීතියට ආදළ සියලුම නීති රීතීන් එයට ද අදාළ වෙයි.





කාන්තාවකට අවශ්‍ය වූ විටක ඇය ඔසප් තත්ත්වයේ පසුවන්නී නම් ඔසප් තත්ත්වය වළක්වාලන බෙහෙත් භාවිතයෙන් තමන්ට කිසිදු හානියක් සිදු නොවන්නේ නම් තම වන්දනාමානයන් සම්පූර්ණ කරනු පිණිස ඔසප් තත්ත්වය පාලනය කරන බෙහෙත් භාවිත කිරීමට අනුමැතිය ඇත. අනිවාර්යය තවාෆය සඳහා ඔසප් තත්ත්වය පාලනය කරන බෙහෙත් භාවිත කිරීම කාන්තාවකට අවශ්‍යය. එය ඇය එසේ ගැනීමෙන් සම්පූර්ණයෙන් රුධිර වහනය නැවතී පවිත්‍රභාවය දකින විටකය. එවිට සලාතය ඉටු කිරීමට ද තවාෆ් සිදු කිරීමට ද අනුමැතිය ලැබේ. නමුත් නැවත වතාවක් එසේ රුධිරය වහනය වන්නේ නම් එය නතර වන තෙක් හයිල් තත්ත්වයේම ඇය පසු වන්නීය.





කවරෙකු අපවිත්‍රයක් උසුලා තවාෆ් කරන්නේ ද එමෙන්ම කවරෙකුට නිතර මල මූත්‍රා හෝ වාතය ඇතිවන්නේ ද එවිට එවන් අයගේ සලාතය ද තවාෆය ද සඃයු ද නිවැරදි වේ. හේතුව එම කොන්දේසිය ඉටු කිරීමේ හැකියාව ඔහුට නොලැබණු අවස්ථාවක එම අනිවාර්යය කොන්දේසිය අතහැර දැමීමට හේතු වූ බැවිනි.





තවාෆ් හි ද සඃයු හි ද ප්‍රාර්ථනාවන් හි නිරත වීමේ මූලික ක්‍රමය වනුයේ සෑම කෙනෙකුම තනිතනියෙන් ප්‍රාර්ථනාවන් හි නිරත වීමය. තවාෆ් හි හා සඃයු හි එකම හඬකින් සාමුහික ව ප්‍රාර්ථනාවන් හි නිරත වීම බිද්අත් හෙවත් ආගමට බැඳුණු නව ක්‍රියාවලියකි. කවරෙකු හෝ සුන්නාහ්ව ට පටහැණිව කටයුතු කරන්නේ ද ඔහු බිද්හාවෙ හි වැටෙනු ඇත.





ප්‍රාර්ථනාවෙ හි මූලික ක්‍රමය එය නිහඩතාවෙන් යුතුව ඉටු කිරීමයි. තවාෆ් හි හෝ සඃයු හි හෝ හඬ නඟා ප්‍රාර්ථනා කිරීම අවශ්‍ය නොවන්නකි. හේතුව එමගින් තවාෆ් කරන්නන් හට එය බාධාවක් වන බැවිනි. එහෙයින් නිහඬතාවෙන් යුතුව ප්‍රාර්ථනා කිරීම අවශ්‍ය වෙයි.





මූලිකම කරුණ වනුයේ සෑම කණ්ඩායමක් ම තනි තනිවම අල්-කුර්ආන් හා සුන්නාහ් ව තුළින් ආගමානුගත කරනු ලැබූ තමන්ට පහසු ප්‍රාර්ථනාවන් ගෙන ප්‍රාර්ථනා කිරීමයි. අල්-කුර්ආන් හා සුන්නාහ්වෙ හි සඳහන් නොවන එයට ආවේණික ප්‍රාර්ථනාවන් ද ප්‍රාර්ථනා කිරීමට ද අනුමැතිය ඇත.





තවාෆ් හි හා සඃයු හි නිරත වන්නන්ගෙන් කුලී ලබා ගැනීම අලුතින් ඇති වූ සිද්ධියකි. එය දහම විකුණා ලොව මිලට ගන්නාක් මෙනි. ඒ හේතුවෙන් තර්ක විතර්ක ගැටුම් නොමනා හඬ තවාෆ් කරන්නන්ට බාධා ඇති වීම වැනි නොසන්සුතාවය ඇති වේ. එසේ කටයුතු කිරීම මුස්ලිම්වරයෙකුට සුදුසු නොවේ. තවාෆ් සිදු කිරීමේ මූලික ක්‍රියාදාමය වනුයේ පිරිමින් හා කාන්තාවන් යන සෑම කෙනෙකුම ස්වයංව ඉටු කිරීමයි. එසේ විශාල සෙනඟක් ඇති වූ විටක මුස්ලිම්වරයා එම කලබලකාරී හා විශාල සෙනඟ ඇති ස්ථානයෙන් දුරස් ව යනු ඇත.





සෆා හා මර්වා ද සංකේතවත් ස්ථාන දෙකකි. සඃයු ඉටු කරන ස්ථානය ඇත්තේ ඒ දෙක අතරය. සෆා හා මර්වා කඳු වලට නැගීම සුන්නාහ්වකි. අනිවාර්යය වනුයේ සඃයු ඉටු කරන අවස්ථාවේ ඒ දෙක ආවරණය වන පරිදි සඃයු කිරීමයි.





සඃයු ඉටු කරන ස්ථානයේ දුර මීටර 394ක් එහි පළල මීටර 40කි.





සඃයු ඉටු කරන ස්ථානයේ හිස මුඩු කිරීම හෝ හිස කෙස් කැපීම හෝ සිදු නොකළ යුතුය. හේතුව එය වන්දනාමානයන් නැමදුම් සලාතය ඉටු කරන ස්ථානයක් වන බැවිනි. එනිසා එම ස්ථානය පිරිසිදු ව තබා ගැනීමත් කෙස් හෝ අපවිත්‍ර දෑ පැතිර යෑමෙන් වළක්වා ගැනීමත් අනිවාර්යය වේ. කවරෙකු හෝ හිස මුඩු කිරීමට අපේක්ෂා කළේ නම් මස්ජිදයට පිටතින් ඇති හිස මුඩු කරන ස්ථානය වෙත යු යුතුය.





· අරෆාවෙ හි විශේෂ අවස්ථාවන්





අරෆාවෙ හි භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 10කි. නමිරා නමැති මස්ජිදය අරෆා ස්ථානයට බටහිරින් පිහිටා ඇත. එහි වාහල්කඩ උරනා මිටියාවතෙහි ද එහි පසුපස පෙදෙස අරෆාවෙහි ද පිහිටා තිබීම දැක ගත හැක.





කවරෙකු හෝ එහි වාහල්කඩ ඉදිරියේ ලැඟුම් ගන්නේ ද ඔහු අරෆාවෙ හි රැඳී සිටි ලෙස සලකනු නොලැබේ. ඔහු අරෆාව ට ප්‍රවිෂ්ට නොවූයේ නම් ඔහුගේ හජ් වන්දනාව නිවැරදි නොවේ.





කවරෙකු හෝ අරෆාවෙ හි රැඳී සිට පසුව සිහිවිකල් වූයේ ද එවිට ඔහුගේ හජ් වන්දනාව නිවැරදිය. එමෙන්ම සිහිවිකල් වී මොහොතක් හෝ පැහැදිලිතාවක් ඇති නොවූ තත්ත්වයේ සිටින කෙනෙකු අරෆාව ට පිවිසියේ නම් ඔහුගේ අරෆා රැඳුම නිවැරදි වෙයි.





· මුස්දලිෆාවෙ හි සුවිශේෂි අවස්ථා





හජ් වන්දනාකරු අවුරුදු දින රාත්‍රියේ මුස්දලිෆාවෙ හි ගත කිරීම අනිවාර්යය වේ. කවරෙකුට හෝ හිරු උදා වන තෙක්ම රෝගයක් හේතුවෙන් හෝ සෙනඟ හේතුවෙන් හෝ එහි පිවිසීමට නොහැකි වූයේ නම් ඒ අසලින් ගමන් කරයි. ප්‍රාර්ථනාවෙ හි නිරත වෙයි. ඔහුගේ හජ් නිවැරදිය. ඔහු කෙරෙහි පාපයක් නොමැත. හේතුව නොවැළැක්විය හැකි බාධකයක් ඔහුට ඇති වූ බැවිනි.





යමෙකු සෙනඟ හේතුවෙන් තම වාහනයේ මුස්දලිෆාවෙ හි නතර කිරීමට නොහැකිව එය පසු කර ගියේ නම් හෝ ඉන් පිටත ගොස් නැවත පැමිණීමට නොහැකි වූයේ නම් හෝ ඒ හරහා ගමන් කිරීම ප්‍රමාණවත් වෙයි. අල්ලාහ් අභිමත කළේ නම් ඔහුගේ හජ් වන්දනාව නිවැරදි වේ.





යමෙකු කිසිදු හේතුවකින් තොරව ඉක්මණින් යෑමේ අරමුණින් එහි නොනැවතී එය පසු කර යන්නේ නම් එවිට ඔහු අනිවාර්යය කටයුත්තක් අතපසු කළේය. ඔහු පාපියෙකු වෙයි. ඔහුගේ හජ් වන්දනාව නිවැරදි වුව ද පූර්ණවත් ලෙස පිළි ගනු නොලැබූ අඩුපාඩුකම් වලින් යුත් හජ් වන්දනාවක් වෙයි.





ආරක්ෂක භටයින් ගිනි නිවන භටයින් වෛද්‍යවරුන් වැන්නන් හජ් වන්දනා කරුවන්ගේ සේවය සඳහා නිරත ව සිටින බැවින් ඔවුන ට මුස්දලිෆාවෙ හි රැඳීමට නොහැකි වූ විටක රාත්‍රියෙන් අඩක් ගෙවී යන තෙක් රැඳී සිටියේ නම් රෝගීන් හා දුර්වල ජනයා මෙන්ම මිනාව වෙත ඉෆාළා හෙවත් ජන ගංගාව සමඟම ගමන් කරයි.





තම කණ්ඩායම අතරමං වේවි නැතිනම් යම් අබැද්දියක් සිදු වේවි යන බිය හේතු කොට ගෙන කවරෙකු මුස්දලිෆාවෙ හි රැඳී නොසිටින්නේ ද එවැන් අය එකම වාහනයක සිටින්නේ නම් එමෙන්ම ඔවුන් සමඟ දුබලයින් ද සිටින්නේ නම් වඩාත් යහපත් වන්නේ සියල්ලෝම එකට සිටීමය. දුබල අයට එසේ නැවතීමට හැකියාවක් නොමැති නම් සෙසු අය ද ඔවුන් සමඟ එක් විය යුතුය. හේතුව එසේ වෙන් ව යෑමෙන් ඔවුනට දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදු වන බැවිනි.





යන පිරිස වාහන කිහිපයක වෙත් නම් ශරීර සුවය හා ශක්තිය ඇත්තවුන් ගමන් කරන වාහනය එහි රැඳී සිට දුබල ජනයා ද ඔවුන් සමඟ වූ සෙසු අය ද සිටින වාහනය මුස්දලිෆාවෙ හි රැඳී නොසිට මිනා වෙත ගමන් කරයි.





සුන්නාහ් ව වනුයේ මුස්දලිෆාවෙ හි මග්රිබ් හා ඊෂා ජම්උ තඃහීර් හෙවත් මුල් සලාතය පසු සලාතය දක්වා ප්‍රමාද කොට දෙකම එකට ඉටු කිරීමේ ක්‍රමය පිළිපැදීමයි. කිසිදු හේතුවෙකින් තොරව කෙනෙකු මුස්දලිෆාව පැමිණීමට පෙර සලාතය ඉටු කළේ ද ඔහු සුන්නාවක් පැහැර හැරියේය. නමුත් ඔහුගේ සලාතයට ප්‍රතිඵල හිමි වේ.





ඉසා සලාතයේ වේලාව පැමිණීමට පෙර කිසිවෙකු හෝ මුස්දලිෆාවට ගියේ නම් සුන්නාහ් ව වනුයේ ඉෂා සලාතයේ වේලාව පැමිණෙන තෙක් බලාපොරොත්තුවෙන් සිටීමය. පසුව ජම්උ තඃහීර් ක්‍රමයට ඔවුන් සලාතය ඉටු කරති. ජම්උ තක්දීම් ක්‍රමයට සලාතය ඉටු කිරීමට ද මොවුනට අනුමැතිය ඇත.





හජ් වන්දනාකරුවෙකු තමන්ට ඇති වූ වැළැක්විය නොහැකි කරුණක් හේතුවෙන් මුස්දලිෆාවට යෑමට පෙර ඉෂා සලාතයේ වේලාව අත පසු වේවි යැයි බියක් ඇති වූ විටක ඉෂා සලාතයේ වේලාව ඉකුත් වීමට පෙර මග්රිබ් හා ඉෂා සලාතයන් තමන් එන මාර්ගයේ ම ඉටු කිරීම අනිවාර්යය වේ.





කවරෙකුට හෝ වැලඳුණු රෝගයක් හේතුවෙන් හෝ වැළැක්විය නොහැකි කරුණක් හේතුවෙන් සලාතය ඉටු කිරීම සඳහා තමන් ගමන් කරන වාහනයෙන් බසින්නට නොහැකි වූයේ නම් එම වාහනයේ ම අවස්ථානුකූලව සලාතය ඉටු කරයි. යමෙකු සෙනඟ තදබලයට බිය වී රාත්‍රියෙන් අඩක් ගත වීමට පෙර හෝ ඊට පසුව හෝ මිනාවෙන් හැරී යන්නේ ද ඔහු සුන්නාහ්ව ට පටහැණි කටයුත්තක් සිදු කළේය. එසේ කවරෙකු කළේ ද ඔහු නැවත එම ස්ථානයට පැමිණීම අනිවාර්යය වේ. එසේ නොපැමිණියේ නම් ඔහු පාපියෙකු වේ. ඔහුගේ හජ් වන්දනාව සම්පූර්ණව පිළි ගනු නොලැබූ අඩුපාඩු සහිත හජ් වන්දනාවක් වනු ඇත. දුර්වලයින්ට හෝ සෙසු අයට හෝ රාත්‍රියෙන් අඩක් ගත වීමට පෙර එසේ හැරීයාම අනුමත නොවේ. නොවැළැක්විය හැකි හේතූන් ඇති උදවිය සුබ්හු සලාතය හා අහස කහ වර්ණ ගැනීමෙන් පසුව මිස මිනාවට ජන ගංගාව සමඟ යෑම නුසුදුසුය.





· මිනාවෙ හි සුවිශේෂී අවස්ථා





මිනාවෙහි භූමි භාගය සාමාන්‍යයෙන් වර්ග කිලෝ මීටර 4කින් යුක්තය. එය විශාල භූමි භාගයකි. ඒ අවට උතුරින් හා දකුණින් විශාල කඳු දෙකක් පිහිටා තිබේ.





· මක්කාහ් භූමිය තුළ ව්‍යාපාර සිදු කිරීමටත් එහි ගොඩනැගිලි ඉදි කිරීමටත් ඒවා කුලියට දීමටත් අනුමැතිය ඇත. වන්දනාමාන ඉටු කරන ස්ථානයන් හා සංකේතවත් කරන ස්ථානයන් වනුයේ මිනා මුස්දලිෆා හා අරෆා වේ. එම ස්ථානයන් හි ව්‍යාපාර සිදු කිරීමත් කුලියට දීමත් අනුමත නොවේ. හේතුව එම ස්ථානයන් මස්ජිද් මෙන් නැමදුම් ඉටු කිරීමට සියලු මුස්ලිම් වරුන්ට සතු නැමදුම් ස්ථානයකි. මුස්ලිම් වරුන්ගේ අපේක්ෂාවන් හා අයිතීන් රැකෙන පරිදි මිනා කඳු පා මුල ගොඩනැගිලි ඉදි කර එයින් ප්‍රයෝජන ලබන්නන් හට කුලියට දීමට රජයට අනුමැතිය ඇත. හේතුව එම ස්ථානයට අමතර ඉඩක් එමගින් ලැබෙන බැවින් හා ජනයාට පහසුකම් සැලසෙන බැවිනි.





· මෂාඉර් හෙවත් සංකේතවත් ස්ථානයන් හි කූඩාරම් ඉදි කොට කුලියට ලබා දීමේ නීතිය





හජ් වන්දනා කරුවන්ගේ යහපත හා පොදු යහපත සැලකිල්ලට ගෙන මෂාඉර් හෙවත් සංකේතවත් ස්ථානයන් හි කූඩාරම් ඉඳි කිරීම රජයට අනුමැතිය ඇත.





තමන් කළ වියදම පිරිමසා ගන්නා තෙක් එම කූඩාරම් වලින් කුලියක් අය කිරීමට අනුමැතිය ඇත. පසුව එහි ආරක්ෂාව හා සේවාවන් සඳහා පමණක් අය කිරීම් සිදු කළ යුතුය.





හජ් වන්දනාකරු හා හජ් යාත්‍රා මෙහෙයවන්නන් තම අවශ්‍යතාවය ට වඩා විශාල කූඩාරම් ලබා ගැනීම අනුමත නොවේ. තමන්ට අමතර යමක් ඇත්නම් කුලියට ලබා දුන් අය වෙත නැවත එය භාර දිය යුතුය. එසේ පැවරීමට නොහැකි වූ විටක තම කුලියේ වටිනාකම පියවා ගැනීම පිණිස එය වෙනත් කෙනෙකුට කුලියට ලබා දිය හැක. එහි අමතර සේවාදායකියින් යොදා ඇත්නම් එම සේවාවන්ට ගෙවිය යුතු වටිනාකම පියවීමට පමණක් ඊට සරිලන කුලියක් ලබා ගැනීමට අනුමැතිය ඇත.





නමුත් කූඩාරම් ඉඳි කර ඇති ස්ථාන අමතර ආදායම් ලබන මාර්ගයක් නොවිය යුතුය. හේතුව ඉන් කුලියක් අය කරනු ලබනුයේ කූඩාරම් ඉඳි කිරීම සඳහා වැය වූ මුදල පිරිමසා ගැනීම පිණිස මිස භූමි භාගය වෙනුවෙන් නොවේ. මිනාවෙ හි ආරම්භයේ සිට අවසානය දක්වා කූඩාරම් එකහා සමාන ව පිහිටයි.





කූඩාරම් බෙදා හරිනු ලබනුයේ කුසපත් ක්‍රමයටය. කොටසක් පෞද්ගලිකව සහතික කළ අයට ද තවත් කොටසක් හජ් වන්දනා කරුවන් ගෙන එන්නන් හා එම ආයතන අතර බෙදා හරිනු ලැබේ.





කුලී ගෙවීමකින් මිස මිනාවෙ හි රැඳී සිටීමට වෙනත් ස්ථානයක් නොලබන්නෙකු නම් ඔහුට කුලියක් ලබා දීමට හැකි නම් එමෙන්ම රජයේ පාලන මිලට හෝ ඊට සමීප මිලකට එම කුලිය පිහිටන්නේ නම් එවිට එසේ කුලියට ලබා ගැනීම ඔහුට අනිවාර්යය වේ.





එහි කුලිය පාලන මිලට වඩා අධික නම් එසේ කුලියට ලබා ගැනීම අනිවාර්යය නොවේ. විශේෂයෙන් අසාධාරණ ලෙස එසේ අධික මිලක් පවති නම් මුස්දලිෆා වැනි හෝ මිනා අවට ඇති ස්ථානයකට ගොඩ බසියි.





අසාධාරණ ලෙස පවතින අධික මිල ගෙවීමේ හැකියාව තමන්ට ඇත්නම් එසේ කුලිය ගෙවීමට හැකිය. එවිට පාපය පවතින්නේ එය අසාධාරණ ලෙස ගත් උදවියටය.





හජ් වන්දනාකරු මිනාවෙ හි අය්යාමුත් තෂ්රීක් හෙවත් හජ් මස 13,14 හා 15 වැනි දිනයන් හි රාත්‍රිය ගත කිරීම අනිවාර්යය. එසේ සිටීමට ස්ථානයක් නොලැබුණු විටක මුස්දලිෆා වැනි මිනාවට සමීපයෙන් පිහිටි ස්ථානයක රාත්‍රිය ගත කිරීම අනිවාර්යය වේ. හේතුව හජ් හි අරමුණු වනුයේ හජ් වන්දනා කරුවන් සියල්ලෝම එකම ස්ථානයක රැස් වී තම නැමදුම් තම ඇඳුම් හා නවාතැන් හි ඒකාකාරී ස්වරූපයක් නිරූපණය කරමින් එකිනෙකා මුණ ගැසී දැන හැදින ගැනීමය.





මිනාවෙ හි මූලික කරුණ වනුයේ සෑම හජ් වන්දනා කරුවෙකු ම එහි රාත්‍රි හා දහවල් කාලය ගත කිරීමය. තවාෆුල් ඉෆාළා සඃයු වැනි නැමදුම් ඉටු කිරීම හෝ හද්යු ලබා දීම හෝ තම අත්‍යවශ්‍ය කරුණක් සපුරා ගැනීම වැනි හේතූන් මත මිස මිනාවෙන් පිටත යෑම අනුමත නොවේ. එසේ ගිය ද රාත්‍රිය ගත කිරීම සඳහා එහි නැවත පැමිණිය යුතුය. නමුත් යම් රෝගයක් වැලඳීමෙන් හෝ සෙනඟ තදබදයක් ඇති වීමෙන් හෝ නැමදුමක නිරත වී සිටීමෙන් හෝ නොවැළැක්විය හැකි කරුණක් ඇති වූ විටක ප්‍රමාද වීම වරදක් නොවේ.





හජ් වන්දනා කරුවන් මිනාවෙ හි මාර්ගයන් හි ද පදික වේදිකාවන් හි ද පාලම් වල ද රාත්‍රිය ගත කිරීම අනුමත නොවේ. හේතුව තමන්ටත් සෙසු අයටත් එහි ගමන් කරන අයටත් පීඩාකාරී තත්ත්වයක් එමගින් ඇති වන බැවිනි.





නමුත් ජනයා ගමන් නොකරන එහි නවාතැන් ගැනීමෙන් සෙස්සන්ට හානියක් නොවන මාර්ගයක් වෙත් නම් එවැනි මාර්ගයක නවාතැන් ගැනීම වරදක් නොවේ. හේතුව එය ද මිනා සීමාව ට අදාළ වන බැවිනි.





රෝගීන් වෛද්‍යවරුන් හජ්වන්දනා කරුවන්ගේ සුබසාධනය සඳහා බැඳී සිටින ආරක්ෂක භටයින් වැන්නන් නොවැළැක්විය හැකි හේතුන් මත රාත්‍රියේ හෝ දහවලෙ හි තම අවශ්‍යතාවන් ට අනුව මිනාවෙන් පිටත්ව යෑමට සිදු වූයේ නම් එසේ පිට වී යෑමට අනුමැතිය ඇත. පසුව ඔහු එම ස්ථානයට නැවත පැමිණිය යුතු වේ.





· ජම්රාත් හි ගල් ගැසීමේ සුවිශේෂී අවස්ථා





දුබලයින් හා ඔවුන්ට සාත්තු සප්පායම් කරන්නන් අවුරුදු දින චන්ද්‍රයා උදා වී රාත්‍රියෙන් අඩක කාලයක් ගත වීමෙන් පසුව ජම්රතුල් අකබාවට ගල් ගැසීමට අනුමැතිය ඇත. කවරෙකු හෝ ඊට කලින් ගල් විසි කළේ නම් නැවත එය ඉටු කිරීම ඔහු වෙත පැවරේ.





අයියාමුත් තෂ්රීක් දිනයන් හි මධ්‍යහ්නට පසුව ගල් විසි කිරීම සුන්නාහ්වකි. සෙනඟ තදබදයට බිය වී මධ්‍යහ්නට කළින් ගල් විසි කිරීම කිසිවෙකුට සුදුසු නොවේ. ජම්රාත් හි සෙනඟ තද බදය පාලනය කිරීම පිණිස විශාල මහල් වලින් යුත් පාලම් කිහිපයක් දැන් තනා ඇත. අල්හම්දු ලිල්ලාහ් !





ගමනක් හෝ නවාතැන් ස්ථානයක් වෙන් කර ගැනීම තමන්ට පැවරුණු වගකීම් සඳහා හේතුවක් කර ගැනීම හෝ අය්යාමුත් තෂ්රීක් දිනයන් හි මධ්‍යහ්නය පෙර ගල් ගැසීම අනුමත කර ගැනීම හෝ සුදුසු නොවෙයි. හේතුව අනෙක් කරුණු වලට වඩා හජ් හි වන්දනාමානයන් ඉටු කිරීමට මුල් තැන දිය යුතු හෙයිනි. තමන් ඒ වෙත පැමිණියේ ද ඒ හේතුවෙනි. එබැවින් එය සම්පූර්ණ කිරීම අවශ්‍ය වේ.





රෝද පුටුවක් වැනි ආධාරයක් මත නැග හෝ පහළ මහලේ සිට හෝ ඊට ඉහළින් ඉදි කර ඇති මහල් පාලම් වල සිට හෝ ගල් ගැසීමට අනුමැතිය ඇත. අකබාවට ගල් ගැසීමේ සුන්නාහ් ව වනුයේ තම දකුණු පෙදෙස මිනා දෙසට ද වම් පෙදෙස මක්කාහ් දෙසට ද පිහිටන සේ සිට ගල් ගැසීමයි. හුලෙයිෆා දෙසින් එනම් උතුරු දෙසින් ගල් විසි කරන්නා ගල් විසි කළ යුතු ස්ථානයට නිවැරදිව විසි කරන්නේ නම් එය අනුමත ලද්දකි. හේතුව මෙහි දී සැලකිල්ලට ගනුයේ ගල් විසි කරනු ලබන ස්ථානය බැවිනි. දිශාව සම්බන්ධ ව සඳහන් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් වූ කරුණ පුළුල්ය.





ගල් විසි කරනු ලබන ස්ථානය. එය කණුවක් වටා වූ තටාකයකි. එම කණුව එහි සාධකයයි. එයට වූ සංකේතයයි.





කණුවේ බිත්තිය ගල් ගසනු ලබන ස්ථානයට වඩා විශාලය. සියලුම මහල් වලට බැඳෙන සේ එය පිහිටා ඇත. එම මහල් වලින් පෙරළෙන ගල් නියමිත ස්ථානය ට වැටෙන සේ ඉදි කර ඇත. එනම් එය පහළින් පිහිටා ඇති සියලු ගල්, ගොඩ ගැසෙන ස්ථානයයි. එසේ විශාල කර ඇත්තේ ගල් වැටෙන ස්ථානයේ කවයට ගල් වැටෙන පරිදි මිස අඩි හයක විශාලත්වයෙන් යුත් ගල් වැටෙනු ලබන කටාරම නොවේ. එය ඒ ප්‍රමාණයෙන්ම පවතී එය විශාල කර නොමැත.





ගල් ගැසීම සඳහා කෙනෙකු පත් කොට පසුව ගල් ගැසීමට පෙර ගල් ගැසීම සඳහා පත් කළ අය සමුගත්තේ නම් හෝ ගමන් කළේ නම් හෝ





ඔහු කිසිදු සාධාරණ හේතුවකින් තොරව එසේ පත් කළේ නම් එම පැවරුම හෝ ගල් ගැසීම නිවැරදි නොවේ. එවිට ඔහු පාපියෙකු වෙයි. ඔහුගේ හජ් වන්දනාව පූර්ණ ලෙස පිළිගනු නොලැබූ එකක් බවට පත් වෙයි. ඔහුගේ සමුගැනීම ද නිවැරදි නොවේ.





යම් කිසි සාධාරණ හේතුවක් මත එසේ පත් කළේ නම් එම පැවරුම නිවැරදිය. නමුත් සමු ගැනීම නිවැරදි නොවේ. හේතුව තවාෆුල් විදා නම් සමුගැනීමේ තවාෆ් ඉටු කළ යුත්තේ සම්පූර්ණයෙන්ම ගල් විසි කර අවසන් කළ පසුවය. යම් කිසි රෝගයක් හේතුවෙන් හෝ ඔසප් හේතුවෙන් හෝ තවාෆුල් ඉෆාලා ඉටු නොකරන ගමන් කළේ නම් තමන් හේතු වූ බාධකය ඉවත් වූ පසුව එම තවාෆය ඉටු කරයි එය දුල් හිජ්ජා මාසයේ අවසානයට පසුව පවා සිදු කළ හැක. නමුත් තවාෆුල් ඉෆාළා ඉටු කරන තෙක් තම බිරිය සමඟ සංසර්ගයේ නිරත වීමෙන් වැළකී සිටිය යුතුය.





කිසිදු සාධාරණ හේතුවකින් තොරව එසේ ප්‍රමාද කරන්නේ නම් ඔහු පාපියෙකු වෙයි. එවිට තව්බා කිරීමත් එය නැවත ඉටු කිරීමත් ඔහු කෙරෙහි පැවරෙනු ඇත. හේතුව එම තවාෆය හජ් හි ප්‍රධාණ කුලුනු වලින් එකක් වන බැවිනි. එය සිදු නොකර හජ් සම්පූර්ණ නොවෙයි.





හජ් වන්දනා කරුවන් ආරෆා මුස්දලිෆා මිනා නම් ස්ථානයන් හි රැස්වීමටත් තවාෆ් ඉටු කිරීමටත් ජම්රාත් වලට ගල් ගැසීමටත් පහසු වන අයුරින් ඔවුන්ගේ අධිකත්වය හා තදබල සෙනඟ අවධානය ට ගෙන ඔවුන් ව ක්‍රමවත් ව පෙළ ගැස්වීම් විෂය භාර නිලධාරියාගේ වගකීම වේ. එය මක්කාහ්වේ හා මෂාඉර් හෙවත් සංකේතාත්මක ස්ථානයන් හි යහපත හා සාමය තහවුරු කරන්නක් වේ. සියලුම හජ් වන්දනා කරුවන් හා හජ් මෙහෙයවන ආයතනයන් එම සුබවාදී වාතාරවණය ස්ථාපිත කරනු පිණිස එම නිලධාරියාට සහය වීම අනිවාර්යය වේ.



Recent Posts

“ෂරිආ” පිළිවෙත පිළිබඳ ...

“ෂරිආ” පිළිවෙත පිළිබඳ විමසුමක්

ඉස්ලාම් හි උපවාසයේ අර ...

ඉස්ලාම් හි උපවාසයේ අරමුණ

ඉස්ලාමීය දැක්මෙන් ප්‍ ...

ඉස්ලාමීය දැක්මෙන් ප්‍රේමවන්තයින්ගේ දිනය මව්ලවි යූසුෆ් ඉම්තියාස්