Articles

“ෂරිආ” පිළිවෙත පිළිබඳ විමසුමක්“ෂරිආ” පිළිවෙත පිළිබඳ විමසුමක්





මුහම්මද් මන්සූර් දහ්ලාන්





“ෂරිආ” පිළිවෙත පිළිබඳ විමසුමක්.





ඉස්ලාමයට එරෙහිව විවිධ මාධ්‍යයන් මගින් මතු කොට ඇති විවේචන දෙස බලන විට එක් පොදුතාවක් ඉතා පැහැදිලිව ම දක්නට ඇත. එනම් විවේචන ඉදිරිපත් කරන්නන් විවේචනයට අදාළ විෂය පිළිබඳව පැහැදිලි හා ගැඹුරු දැනුමකින් තොරව තම සිතෙහි මතු වී ඇති ඉස්ලාම් පිළිකුල හා ඉස්ලාම් භීතිකාව පමණක් පදනම් කර ගෙන කෙන්ද කන්ද කර පෙන්වීමේ වෑයමක නිරත වී ඇති බවය. බොහෝ අවස්ථාවන්හි දී කෙන්දක් තරම්වත් හේතු නොමැතිව විවේචන ඉදිරිපත් කර තිබීම පිළිබඳව දැඩි කනස්සල්ලට හා සිත් වේදනාවට පත් වන්නෙමු. ඉස්ලාමිකයින් වන අපි අල් කුර්ආනයේ හා දෙවිඳුන් විසින් මනුෂ්‍ය වර්ගයාට යහමඟ පෙන්වීම උදෙසා පත් කළ අවසන් ධර්ම දුතයාණන් වූ මුහම්මද් තුමාණන්ගේ (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය අත්වේවා) මඟ පෙන්වීම අනුගමනය කරන්නන් වශයෙන් කිසිම දහමකට අපහාස නොකරන්නට බැඳී සිටින්නෙමු. සමහර අවස්ථාවන්හි දී නිවැරදි මුලාශ්‍රයන් පදනම් කර ගෙන අර්ථදායක විවේචන ඉදිරිපත් කළත් පදනම් විරහිත අන්දමින් දහම් කෙරෙහි අපහාසාත්මක ලෙස කරුණු ඉදිරිපත් කිරීමක් මුස්ලිම් වරයෙකුගෙන් සිදු නොවිය යුතුම කරුණකි.





“අල්ලාහ් හැර ඔවුන් අයැදින දෑට (හෝ අයට) නුඹලා අපහාස නොකරවූ” (අල් කුර්ආනය 4 : 108)





මෙම පැහැදිලි උපදේශය පිළිගෙන ඒ අනුව කටයුතු කිරීමට අපි බැඳී සිටින්නෙමු. එම නිසා නොදැනුවත් කමින් ඉස්ලාමයට එරෙහිව මතු කරන චෝදනා පිළිබඳව අපට අනුගමනය කරන්නට විවෘතව ඇත්තේ සත්‍යය අසත්‍යය කුමක් ද යන්න පැහැදිළි කර දීම පමණි. ඒ අනුව ‘ෂරිආ’ පිළිබඳ ව මතු වී අති වැරදි අවබෝධයන් පැහැදිලි කර දීමේ උත්සාහයක යෙදෙන්නට මෙම ලිපිය මගින් කටයුතු කර ඇත්තෙමු.





“ෂරිආ” යනුවෙන් අදහස් වන්නේ කුමක්ද?





මෙහි පදගතාර්ථය නම් ‘දිය ඇලක් වෙත යොමු වී ඇති ජල මාර්ගයක්, දිය බොන ස්ථානයක්, මාවතක් හෝ නිවැරදිමඟ’ යන්නය. මෙම අර්ථයන් ගෙන් අපේක්ෂිත තැනකට හෝ නිශ්චිත ඉලක්කයක් කරා යොමු වූ මාවතක් හෝ මඟක් යන අර්ථය ගෙන දීමට ෂරිආ යන පදය යොදා ගනු ලැබිණ. අල් කුර්ආනයේ ෂරිආ යන පදය හා එහි විවිධ අනු ප්‍රභේධ පිළිබඳව ස්ථාන පහක සඳහන් වී ඇති නමුත් එහි විස්තීර්ණ භාවිතය පසු කාලීනව සිදු වුවකි. ඉස්ලාමයේ ආරම්භක කාල වකවානුවේ ‘ඉස්ලාම්’ ‘දීන්’ යන පදයන් මේ වෙනුවට උපයෝගී කර ගන්නා ලදී.





මුස්ලිම් වරුන්ගේ ජීවිත හසුරුවන නීති මාලාවන්, නියාමනයන්, ඉගැන්වීම්, හා අගයන් හුවා දැක්වීමට සංකල්පාත්මකව ෂරිආ යන පදය උපයෝගී කර ගනු ලැබේ. මෙය මුස්ලිම් වරයෙකුගේ පරිපුර්ණ ජීවන සැලැස්ම අඩංගු වූ ඉතා පළල් සංකල්පයකි. නැමදුම, සදාචාරය, පුද්ගල ආකල්ප හා කල් ක්‍රියාව මෙන්ම දේශපාලන, ආර්ථික, සමාජීය, සමාජ සත්කාර ක්‍ෂේත්‍රයන් ද අපරාධ හා සිවිල් අංශයන් ද තනි පුද්ගල අයිති වාසිකම් හා සමාජීය අයිතිවාසිකම් ද මෙයට අන්තර්ගත වෙයි.





එහෙයින් ෂරිආ යනු දෙවිඳුන් ව විශ්වාස කර පිළිගන්නා ජනයාට මෙලොව හා මතුලොව ජය අත් පත් කර ගැනීම උදෙසා අනුගමනය කිරීමට දෙවිඳුන් විසින් සකස් කර දී ඇති මාවතක් ලෙස විග්‍රහ කිරීම වඩාත් සුදුසු වෙයි.





ෂරිආ හි අපේක්ෂිත අරමුණු කුමක්ද?





ෂරිආ හි මුලික අරමුණ වන්නේ ප්‍රතිපත්තියක් වශයෙන්ම මිනිසුන් මුහුණපාන දුෂ්කරතාවන් ඉවත් කොට ඔවුන්ගේ ප්‍රශ්න හා ගැටලු වලට යහ විසඳුම් ලබා දීමය. පොදු වශයෙන් ෂරිආ පිළිවෙත මගින් පුද්ගලයින් හා සමාජයට දැහැමි වන්නට දිරි ගන්වන අතර දෙවිඳුන්ට සමීපතාවක් ගොඩ නගා ගන්නට මග පෙන්වයි. සමාජයන් ආරක්ෂිතව සහයෝගීතාවකින් යුක්තව ඒකීයත්වය පිළිබඳ හැඟීමකින් හා විශ්වාසයකින් මෙන්ම සැවොම එකිනෙකාට උපකාර කර ගනිමින් යහකම දිරිගන්වමින් හා දෙවිඳුන් හට අප්‍රිය වූ අයහකමින් එකිනෙකා වළකමින් කටයුතු කිරීම මිනිස් සමාජයේ යහ පැවැත්මට අත්‍යවශ්‍ය කරුණකි.





දහම සුරක්ෂිත කිරීම ෂරිආ හි අරමුණු අතරින් වැදගත් ස්ථානයක් ගනියි. මිනිස් ජීවිතයේ හරය හා සාරය ලෙස ගැනෙන්නේ දහමය. මිනිසාගේ මෙලොව හා මතුලොව ජය රැඳී ඇත්තේ දහමේ නිවැරදි මග පෙන්වීම් අනුගමනය කිරීම මතය.





ජීවිත ආරක්ෂණය ෂරිආ හි තවත් වැදගත් අරමුණක් වෙයි. කිසිදු ජීවියෙකුට හිරිහැර කිරීමට හෝ අන් අයගේ ජීවිත හානි කිරීමට හෝ අයිතියක් කිසිවෙකුට නොමැත. අන් අයගේ ජීවිත අනුල්ලංඝනීය බව ඉස්ලාමය උගන්වන අතර අහිංසක ජීවිත වලට හානි සිදු කිරීම මහා පාපයක් ලෙස ද සලකයි.





බුද්ධිය ආරක්ෂා කිරීමද ෂරිආ හි තවත් වැදගත් අරමුණක් වෙයි. මුස්ලිම් වරයෙකු සෑම විටම සන්සුන් හා තැන්පත් කමකින් යුක්ත විය යුතුය. මත් පැන් මත් කුඩු හා සියලුම මත් ද්‍රව්‍යයන්ගෙන් වැළකී සිටීම අත්‍යවශ්‍ය වෙයි. බුද්ධිය හා මනස ව්‍යාකුලත්වයට පත් කරන්නා වූ මත්ද්‍රව්‍ය හා අනෙකුත් දෑ පුද්ගලයාට හා සමාජයට අති හානිකරය.





දේපළ හා ධනය ආරක්ෂා කිරීම ඉතා වැදගත් තැනක් ෂරිආ පිළිවෙතේ අන්තර්ගතය. පුද්ගල ආරක්ෂණය පිළිබඳ හැඟීම පරිපුර්ණ වීමට නම් තම ශ්‍රමයේ ඵලය ලෙස සැලකෙන දේපළ හා ධනය සුරක්ෂිත විය යුතුය. සොරකමින් හා බලහත්කාරකමින් තම වස්තුව රැක ගැනීමේ සහතිකයක් තිබීම පුද්ගල ආරක්ෂණයේ වැදගත් ස්ථානයක් ගනී.





පරපුර පිරිසිදුව හා නිවැරදිව පවත්වා ගෙන යෑම ෂරිආ පිළිවෙතේ ඉතා වැදගත් අංගයක් වෙයි. විවාහයට පුර්ව හා ඉන් බාහිර සියලුම ලිංගික සම්බන්ධතාවන් තහනම් වන අතර ඒවා දඬුවම් ලැබීමට හේතු වන කරුණු ලෙස සලකයි. අවිවාහ මෛථුනය, අනාචාරය, ලිංගික අපචාරය, ගණිකා වෘත්තිය ආදී සියලුම ආකාරයේ ලිංගික වැරදි මෙන්ම එම වැරදි කරා යොමු කරවන සියලු සාධක පිළිබඳව ෂරිආ පිළිවෙත දැඩි විරුද්ධ ස්ථාවරයක සිටී.





ෂරිආ හි සියලු කරුණු ඉහත ක්‍ෂේත්‍ර පහ ඇතුළත අඩංගු වන්නේය.





යහ සමාජයක් ගොඩ නැගීම හා සුරක්ෂිත කිරීම පිලිබඳ ඇති ප්‍රධාන කරුණු කුමක්ද?





1. ආධ්‍යාත්මික හා සාරධර්ම සපිරි සමාජයක් ගොඩ නැගීම අභියෝගාත්මක මෙන්ම අති දුෂ්කර කාර්යභාරයකි.





2. එවන් යහ සමාජයක් පිරිහීමෙන් හා අපවිත්‍රනයෙන් ආරාක්ෂා කිරීම එය නිර්මාණය කිරීමට වඩා අති භාරදුර හා දුෂ්කර ක්‍රියාවකි.





3. මේ හේතුව නිසාම සමාජයේ යහ පැවැත්ම සහතික කිරීමට හා ආරක්ෂා කිරීමට නීති රීති මෙන්ම නිවැරදි මඟපෙන්වීමක් අත්‍යවශ්‍ය වෙයි.





4. මෙම ක්‍රියාවලියේදී පුද්ගලයා ආරක්ෂා කිරීමට වඩා සමස්ත සමාජය ආරක්ෂා කිරීම සඳහා ප්‍රමුඛ තාවක් දිය යුතු වෙයි.





5. සමාජ විරෝධී ක්‍රියාවකට මුල් වන පුද්ගලයෙකු පරිත්‍යාග (කැප) කොට සමස්ත ධාර්මික සමාජයම ආරක්ෂා කිරීමට කටයුතු කිරීම ඉස්ලාමයේ පිළිවෙතයි.





6. ඉස්ලාමීය නීති රීති සකස් වී ඇත්තේ සමස්ත සමාජයේ සුරක්ෂිතභාවයට ප්‍රමුඛතාව දී ඉන් පසු පුද්ගලයා ආරක්ෂා කිරීමේ කටයුත්තට යොමු වීමේ පිළිවෙත මතය.





ෂරිආ පිළිවෙත කෙරෙහි පැවරෙන කාර්යභාරය කුමක්ද?





මනුෂ්‍ය ජීවිතයේ පහත සඳහන් කරුණු ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ඉස්ලාමීය ඉගැන්වීම් සකස්වී ඇත.





1. ජීවිතය පිළිබඳ අනුල්ලන්ඝනීයත්වය





2. මානව නිදහස





3. මිනිසත්සකම පිළිබඳ සැලකිල්ල හා උනන්දුව





4. මානව ගෞරවය





5. සදාචාරාත්මක හැසිරීම





6. යුක්තිය හා සාධාරණය





7. සාමය





8. පාරිසරික සුරක්ෂිතභාවය





“(විශ්වාසවන්තයිනි,) ඔබ නීතිගරුක වන ලෙස ද හොඳ ක‍්‍රියාවන් කරන ලෙස ද ඥාතීන්ට උපකාර කරන ලෙස ද අල්ලාහ් සැබැවින්ම ඔබට නියම කරන්නේය. අවමානයට ලක් වන ක‍්‍රියාවන්, පාපයන්, අපරාධයන් ආදී දැය (ඔබ කෙරෙන්) ඔහු තහනම් කරන්නේය. (මේ දැය) ඔබ මතක තබා ගත යුතු යැයි ඔහු (අල්ලාහ්) ඔබට යහ අවවාද දෙන්නේය.” (16 : 90)





“(විශ්වාසවන්තයිනි,) නීතිය අකුරටම පිළිපැදීමෙහි අල්ලාහ් වෙනුවෙන් ඔබ සාක්ෂි දරවු. මිනිසුන්ගෙන් එක් කොටසක් කෙරෙහි (ඔබ තුළ ඇති) ද්වේශය (ඔවුන්ට) අපරාධයක් කිරීමට ඔබව පොලොඹවා නොගනිවු. (කොපමණ ක්‍රෝධයන් තිබුණ ද) ඔබ නීතියම ක‍්‍රියාත්මක කරවු. එය බියබැතිමත්භාවයට ඉතා සමීප වන්නේය. (කුමන අවස්ථාවක දී වුවද) ඔබ අල්ලාහ්ටම බිය වවු. සැබැවින්ම අල්ලාහ් ඔබ කරන දෑ හොඳින් දන්නේය.”





(5 : 8)





ෂරිආ පිළිවෙතේ මුලාශ්‍රයන් කුමක්ද?





ෂරිආ හි ප්‍රධානතම මුලාශ්‍රය වන්නේ අල් කුර්ආනයයි. අල්ලාහ් (එකම සත්‍ය දෙවිඳුන්) ගේ සෘජු වදන් මෙහි අන්තර්ගත වන අතර ලොව අවසන් වනතුරු පවතින එකම සත්‍යය දිව්‍යමය මාර්ගෝපදේශය ද මෙය වෙයි. අල් කුර්ආනයට පසුව ‘සුන්නා’ නමින් හැඳින්වෙන මුහම්මද් ධර්ම දුතයාණන්ගේ (දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය එතුමන් කෙරෙහි ඇති වේවා) ක්‍රියා, ප්‍රකාශන හා අනුමත කළ දෑ අඩංගු දෙවන මුලාශ්‍රය වැදගත් වෙයි. මෙම කරුණු අඩංගු ග්‍රන්ථ (උදාහරණ: සහිහ් බුහාරි, සහිහ් මුස්ලිම්, ඉබ්නු මාජා, තිර්මිදී, නසායි, යනාදිය) ඉස්ලාමිය විද්වතුන්ගේ දැඩි සුපරීක්ෂාවට භාජනය කොට පිළිගත් වර්ගීකරණයක් අනුව සකස් කොට තිබේ. ‘හදීස්’ යන අරාබි වචනයට ප්‍රකාශනය, වදන, සිදුවීමක්, අලුත් යන අර්ථ ඇති අතර මෙම වචනය සුන්නා යන සංකල්පයට සමාන අරුත් ඇති පදයක් ලෙස භාවිත කෙරේ. සුන්නාව අන්තර්ගත ග්‍රන්ථ හඳුන්වන්නේ ද හදීස් ග්‍රන්ථ ලෙසිනි. අල් කුර්ආනය හා සුන්නාවට අමතරව ‘ඉජ්මා’ (සම්මුතිය, එකඟතාව) ‘කියාස්’ (සමාකෘතිය, සමාකාර පොදු දෙයින් සුවිශේෂය නිගමනය කිරීම), ඉජ්තිහාද් (තර්කනය හා විචාරය) හා මස්ළහ (මහජන හා පොදු යහපත) ආදී කරුණු ද ෂරිආ පිළිවෙතේ මුලාශ්‍රයන් ලෙස සැලකේ.





දහම හා ෂරිආ ව අතර ඇති වෙනස කුමක්ද?





නීති පද්ධතියක්, නියාමනයන්, යහ ඉගැන්වීම්, හා මුස්ලිම් වරුන්ගේ ජීවිතය හසුරුවන යහ අගයන් ෂරිආවෙන් අදහස් වේ. නැමදුම්, සදාචාරයන්, පුද්ගල චර්යාවන් හා ක්‍රියාකාරකම් මෙන්ම දේශපාලනික, සමාජයීය, ආර්ථික, අපරාධ හා සිවිල් ක්‍ෂේත්‍රයන් මෙයට අඩංගු වේ. දෙවිඳුන්ගේ සියලු ධර්ම දුතයින් මගින් ඉදිරිපත් කරනු ලැබුවේ එකම දහමක් වුවත් ෂරිආ වේ මුලික හරය ද එකක් වුවත් පරිවාර නීති හා ඉගැන්වීම් විවිධ ධර්ම දුතයාණන්හට පහළ කරනු ලැබූ පණිවිඩයන් තුළ සමාජයෙන් සමාජයට වෙනස් විය. උපවාස ශීලය අල් කුර්ආනය අනුව මෙයට පෙර විසු ජනයාට ද අනිවාර්ය වුවක් බව සඳහන්කොට ඇත. නමුත් සැමටම නියම වූ උපවාස ශීලයේ හරය එකක් වුවත් කලින් කලට එහි චර්යාවන් පිළිබඳ වෙනස්කම් සිදු කෙරිණ. උපවාස ශීලයේ දෛනික කාල පරාසය හා සම්පුර්ණ දින ගණන පිළිබඳව වෙනස්කම් ද දෙවිඳුන් විසින් සිදු කෙරිණ.





ඉස්ලාමයට අනුව මුළුමහත් මනුෂ්‍ය වර්ගයාටම නිවැරදි මග පෙන්වීම් අඩංගු සත්‍යය දහම ලැබිය යුත්තේ විශ්වයේ අධිපති සත්‍ය වූ එකම දෙවිඳුන්ගෙන් පමණි. කාල වකවානුව, ප්‍රදේශය, වාර්ගිකත්වය හෝ අන් සාධක පිළිබඳව තැකීමකින් තොරව මිනිස් ස්වභාවය හා ප්‍රධාන මිනිස් ක්‍රියාකාරකම් බොහෝ දුරට සමානය. මෙම කරුණ පදනම් කර ගෙන සකල මනුෂ්‍ය වර්ගයාගේම සියලු අවශ්‍යතාවන් උදෙසා සත්‍යය දෙවිඳුන්ගෙන් එකම දහමක් පමණක් පහළ වීම විචාරයට හා චින්තනයට පිළි ගත හැකි කරුණක් ව පවතී. මෙම දහම ඉස්ලාම් ය. ඉස්ලාමය මුහම්මද් ධර්ම දුතයාණන් (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය අත්වේවා) විසින් පමණක් උගන්වන ලද්දක් නොවේ. මුහම්මද් තුමානන්ට පෙර සිටි ඒබ්‍රහම්, මෝසෙස්, ජේසුස් ඇතුලත්ව සියලු ධර්ම දුතයින් විසින් (එතුමන්ලා සැමට දෙවිඳුන්ගේ ආශිර්වාදය අත්වේවා) උගන්වන ලද දහම ඉස්ලාම් ය. ආගමික අර්ථ දැක්වීම අනුව ඉස්ලාම් යනුවෙන් අර්ථවත් වන්නේ විශ්වයේ අධිපති සත්‍ය වූ එකම දෙවිඳුන්ට යටහත් වීම, කීකරු වීම, අවනත වීම යනාදී වදන් වලින් විග්‍රහ වන පරිදි දෙවිඳුන්ගේ සත්‍යය මග පෙන්වීම අනුව තමන්ගේ ජීවිතය සකස් කර ගැනීමට එකඟ වීමය.





ඉස්ලාමිය සංකල්පය අනුව දහම යනු අධ්‍යාත්මික හා බුද්ධිමය අවශ්‍යතාවක් පමණක් නොව සමාජයීය මෙන්ම විශ්වීය අවශ්‍යතාවකුත් වන බවය. ඉස්ලාමයෙන් තොරව මිනිසාට මිහිතලයේ මෙන්ම මරණින් මතු ජීවිතයේ ජය අත්පත් කර ගැනීමට අන් මගක් නොමැත්තේය.





ෂරිආ පිළිවෙත හා ආචාරධර්මී මුලධර්ම අතර ඇති සබඳතාව කුමක්ද?





අනාගමික (Secular) පිළිවෙත හා ආචාරධර්මී මුලධර්ම අතර අනිවාර්ය අන්තර් සබඳතාවක් දකින්නට නොමැත. නමුත් ෂරිආ පිළිවෙත හා ආචාරධර්මී මුලධර්ම අතර සෘජු සම්බන්ධතාවක් අනිවාර්යයෙන්ම ඇත. ෂරිආ පිළිවෙත මගින් පුද්ගලයා තුළ හා සමාජයේ යහ සාරධර්ම සම්මතයන් හා ප්‍රමිතියන් ස්ථාපිත කිරීමට කටයුතු කිරීම ප්‍රධාන අරමුණක් බවට පත් ව ඇත. ෂරිආ හි අරමුණු පිළිබඳ ව ඉහතින් කරුණු පැහැදිලි කිරීමේදී ෂරිආ ක්‍රියාකාරකම් අන්තර්ගත වන ක්‍ෂේත්‍ර පහක් සඳහන් කළෙමු. එම සෑම ක්‍ෂේත්‍රයකම කටයුතු සදාචාර හා සාරධර්ම සපිරි ආකාරයෙන් සකස් කිරීම ෂරිආ පිළිවෙතේ මුලික වගකීමක් වෙයි. යුක්තිය හා සාධාරණය, අයිතිවාසිකම්, වගකීම්, අන්‍යෝන්‍ය අදහස් විචාරණය, මහජන හා පොදු යහපත, මෙලොව හා මතුලොව ජීවිතයන් හි සඵලත්වය ෂරිආ පිළිවෙතේ පොදු ඉලක්කයන්ය.





‘හුදුද්’ යනුවෙන් අදහස් වන්නේ කුමක්ද?





‘හුදුද්’ යනු ‘හද්’ හි බහු වචනයයි. මෙම වචන දෙකම අරාබි භාෂාවට අයත් වන අතර මෙහි අර්ථය ‘සීමාව’ හෝ ‘මායිම’ යන්නය. මෙම වචනයට ඉස්ලාමිය කෝණයෙන් අර්ථවත් වන්නේ දෙවිඳුන් විසින් නියම කොට ඇති සීමාවන් උල්ලංඝනය කළ විට දරන්නට සිදුවන ආදීනවයන් (දඬුවම්)ය. මෙම දඬුවම් වර්ගීකරණය අනුව අධිකරණයකදී චුදිතයා නිශ්චිත වරදට වැරදි කරුවෙකු බවට ඔප්පු වුවහොත්, විනිශ්චයකරුට හෝ පාලකයාට හෝ වෙන අන් අයෙකුට හෝ චුදිතයාට සමාව දීමේ අයිතියක් නොමැත. මෙහිදී නිශ්චිත දඬුවම් අනිවාර්යයෙන් දිය යුතුම වෙයි.





ෂරිආ පිළිවෙත ක්‍රියාත්මක කිරීම යනු හුදුද් (නිශ්චිත දඬුවම්) ක්‍රියාත්මක කිරීමද?





ෂරිආ පිළිවෙත හුදුද් (නිශ්චිත දඬුවම්) පිළිබඳව පමණක් වූ සංකල්පයක් නොවේ. මුස්ලිම් වරයෙකුගේ ජීවිතයේ සියල්ලම පාහේ ෂරිආ පිළිවෙතට අනුකුල විය යුතුය. හුදුද් ක්‍රියාත්මක කිරීම යනු ෂරිආ හි කොටසක් ක්‍රියාත්මක කිරීම පමණි. දඬුවම් පිළිබඳව ඇති කොටස අති මහත් වූ ෂරිආ පිළිවෙතේ ඉතාමත්ම අල්ප වූ කොටසක් පමණි. හුදුද් යනු දෙවිඳුන් විසින් සෘජුව නියම කොට ඇති දඬුවම් වන අතර මෙයට අමතරව ‘කිසාස්‌’ (සමප්‍රතිචාර දැක්වීමේ නීතිය) හා ‘තා’zසීර්’ (අධිකරණයේ අභිමතය හා විචාරශීලිත්වය මත පදනම් වූ නීතිය) ද ඉස්ලාමීය නීති පද්ධතියේ කොටසක් වන්නේය. මෙම පිළිවෙතට මුහම්මද් ධර්ම දුතයාණන් ගේ (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය අත්වේවා) අලංකාර පුර්වාදර්ශයේ හා අල් කුර්ආනයේ ඉගැන්වීම් තුළින් මග පෙන්වීම් ලැබී ඇත. තවත් ලිපියකින් (ඉන්ෂා අල්ලාහ්) මෙම සියලු නීති පද්ධති පිළිබඳව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන්නෙමු.





කිසාස්‌ හා තා’zසීර් පිළිබඳව කරුණු පැහැදිලි කරන්න





ජීවිත ආරක්ෂණය සෑම සංස්කෘතියකටම පොදු වුවාක්‌ මෙන්ම කෙනෙකුව නිකරුණේ මරා දැමීම බරපතළ වරදක් ලෙස ද සැලකේ. ඒ පිළිබඳව ඇති ඉස්ලාමීය මතයන් හා ක්‍රියාකාරකම් අන් සංස්කෘතීන්ට වඩා වෙනස් වන්නේ කෙලෙස ද යන්න පළමුව විමසා බලමු. හුදුද් කිසාස් හා තා’zසීර් පිළිබඳව සවිස්තරාත්මක කරුණු පැහැදිළි කිරීමක් තවත් ලිපියකින් (ඉන්ෂා අල්ලාහ්) කිරීමට අපේක්ෂා කරණ හෙයින් මුලික හැඳින්වීමක් පමණක් මෙහිදී කරන්නට බලාපොරොත්තු වන්නෙමු.





ජීවිතයේ අවසානය වූ මරණය සිදුවන හෝ සිදුවීමට නියම කරනු ලබන ආකාරය පිළිබඳව ඉස්ලාමය දරණ මතය අනුව එහි ජීවිතාරක්ෂණය සම්බන්ධයෙන් ඇති කරුණු සාකච්ඡාවට බඳුන් කළ හැක. මෙම කරුණු කියවන අයෙකුට නිවැරදි ඉස්ලාමීය ස්ථාවරයන් අවබෝධ කර ගැනීමට නම් එයටම සුවිශේෂී වූ ලක්ෂණයන් කිහිපයක් පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීම සුදුසු යැයි සිතන්නෙමු.





එවැනි ලක්‍ෂණයන්ගෙන් කිහිපයක් පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.





1. තාපස, ශ්‍රමණ, අනගාරික, හෝ බ්‍රහ්මචාරී පිළිවෙතක් ඉස්ලාමයේ නොමැත.





2. පුජක පක්ෂයක් ඉස්ලාමයේ නොමැත. මව්ලවි, ආලිම්, යන අරාබි වචනයන්ගෙන් හඳුන්වන්නේ ඉස්ලාමීය විද්වතුන් වන අතර ඔවුන් සාමාන්‍ය ලෞකික ජීවිතයක් ගත කරන ගිහි පිරිසකි. සියලු නැමදුම් විශ්වයේ හා එහි අඩංගු සියලු දෑහි නිර්මාතෘ, අධිපති, පාලක, හා පෝෂක වූ අල්ලාහ් ටම පමණක් සිදු කළ යුතුය.





3. විවාහය දිරි ගන්වයි.





4. සියලු ඉගැන්වීම් දේව සවිඤාණක යහ ලෞකික ජීවිතයක් තුළින් මතු ජීවිතයේ සාර්ථකත්වය අත්පත් කර ගැනීම කෙරෙහි යොමු වී ඇත.





ඉහතින් සඳහන් කර ඇති මුලික වශයෙන් ඉස්ලාමයට පමණක් සුවිශේෂී වූ අදහස් පදනම් කර ගනිමින් ජීවිතාරක්ෂණය පිළිබඳව වූ කරුණු සාකච්ඡා කරමු. මේ පිළිබඳව ඇති අල් කුර්ආන් වැකියක් පළමුව විමසා බලමු.





“යමෙක් තව අයෙකුව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත කලහකම් පැතිර වීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙක්ව (නිකරුණේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙසම යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනීද ඔහු මිනිස් වර්ගයාම බේරා ගත්තා හා සමානය.” (අල් කුර්ආනය 5:32)





ඉහත අල් කුර්ආන් වැකියෙන් මිනිසෙකු නිකරුණේ ඝාතනය කිරීම මුළු මහත් මනුෂ්‍ය වර්ගයාම ඝාතනය කිරීමකටද, එලෙසම යමෙක් මිනිස් ජීවිතයක් ආරක්ෂා කර ගනීද එය මුළු මහත් මනුෂ්‍ය වර්ගයාම ආරක්ෂා කර ගැනීමකටද සමාන කිරීමෙන් ජීවිත ආරක්ෂණය සහතික කිරීම ඉස්ලාමයේ සම්මත සංකල්පය බව ඉතා නිරවුල් ව පැහැදිලි වෙයි. මෙම සම්මත සංකල්පයට පටහැනි වන හෙතුන්ද මෙම අල් කුර්ආන් වැකියෙහි අන්තර් ගත කොට ඇති හෙයින් අපගේ සාකච්ඡාවට බඳුන් විය යුත්තේ එම කරුණු බවයි අපගේ අදහස වන්නේ. ඉස්ලාමීය ඉගැන්වීම් යහ ගිහි ජීවිතයක් කරා යොමු වී ඇති හෙයින් ඉස්ලාමීය රාජ්‍යයක නීතිය හා සාමය පවත්වා ගෙන යෑමේ මඟ පෙන්වීමද එයට ඇතුලත්ව ඇත. නීතිය හා සාමය පවත්වා ගෙන යෑමද ජීවිත ආරක්ෂණය පදනම් කරගෙන සකස් වුවකි.





මිනිස් ඝාතන





“අවබෝධ කරගන්නෙනි, ‘කිසාස්‌’ (සම ප්‍රතිචාර දැක්වීමේ නීතියෙ) හි ජීවිතයක් (සුරැකෙනු) ඇත; නුඹලා (ඝාතනයෙන් දුරස්ථවී) බිය බැතිමත් වනු පිණිස” (අල් කුර්ආනය 2:179)





‘කිසාස්‌’ (සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය) අනුව ‘ජීවිතයක් ඇතැයි’ යනුවෙන් දෙවිඳුන් අවධාරණය කරනුයේ චේතනීය මිනී මැරුමකට ඝාතකයාට මරණ දඬුවම ලබා දීම හා එය ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක කිරීම මගින් එය සෙසු අයට එවැනි නොමනා ක්‍රියාවකට පෙලඹීමට ඇති නැඹුරුව නසා දැමීම සඳහා වූ අවවාදාත්මක ක්‍රියාවක් වන හෙයිනි. මෙමගින් සමාජයේ ඝාතන සඳහා වූ නැඹුරුව හා එවැනි මානසිකත්වය ඉවත් වී ගොස් ජීවිත සුරක්ෂිත කිරීමේ තත්වයක් නියත වශයෙන්ම උදා වනු ඇත.





ඉහත දඬුවම නියම කර ඇත්තේ සචේතනීය මිනීමැරුමක් සඳහාය. මේ සම්බන්ධයෙන්ද ලොව කිසිම නීති ක්‍රමයක නොමැති මානුෂීය හා ජීවිතාරක්ෂණය සහතික කරන වගන්ති ඉස්ලාමීය නීතියෙහි අඩංගු වී ඇත.





“විශ්වාස කළවුනි, ඝාතනය කරනු ලැබුවන්ගේ විෂයයෙහි කිසාස්‌ (සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය) අනිවාර්යය කරනු ලැබ ඇත; නිදහස් පුද්ගලයාට නිදහස් පුද්ගලයාද, වහලෙකුට වහලාද, ස්ත්‍රියකට ස්ත්‍රිය ද (මරණ දණ්ඩනයේ නීතීන්ට යටත්) වේ; එනමුත් තම (ඝාතනයට ලක් වූ තැනැත්තාගේ) සහෝදරයා විසින් කවරෙකු(ඝාතකයා) ට යම් කිසි සමාවක් දෙනු ලබන්නේද ඔහු (ඝාතනයට ලක් වූ තැනැත්තාගේ සහෝදරයා එවිට වන්දි මුදල සම්බන්ධයෙන්) සාධාරණත්වය අනුගමනය කළ යුතුය; තවද ඔහු(ඝාතනයට ලක් වූ තැනැත්තාගේ සහෝදරයා) වෙත යහපත් අයුරින් (වන්දිය) ඉටු කළ යුතුය; එය නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සහනයකි, තවද කරුණාවකි; ඉන් පසුව කවරෙකු හෝ සීමාව ඉක්මවා යන්නේ නම් ඔහුට වේදනීය දඬුවමක් ඇත.” (අල් කුර්ආනය 2:178)





ඉහත අල් කුර්ආන් වැකියට අර්ථ දක්වන ඉස්ලාමීය විද්වතුන්ගේ මතය සංක්‍ෂිප්තව පහතින් දක්වා ඇත්තෙමු.





1. මිනිස් ඝාතනයකදී අගතියට පත් පාර්ශවයට සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය යටතේ ඝාතකයාට මරණ දඬුවම දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමේ අයිතිය ඇත.





2. දෙවන විකල්පය වශයෙන් ‘දියා’ යනුවෙන් හැඳින්වෙන වන්දි මුදලක් ලබා ගෙන ඝාතකයාට සමාව දීමේ අයිතියද අගතියට පත් පාර්ශවයටම ලබා දී ඇත. මෙය පොදුවේ සිදුවෙන රටේ පාලකයා විසින් හෝ ඉහළ උසාවියකින් දෙනු ලබන සමාව හා සම නොවේ.





3. වන්දි මුදලක් ලබා නොගෙනද සමාව දීමේ අයිතිය අගතියට පත් පාර්ශව කරුවන්ට ලබා දී තිබේ.





ඝාතනයට ලක් වූ පුද්ගලයා පවුලේ ආර්ථික වගකීම දරන පුද්ගලයා වූ විට ඇති වන තත්වය අති භයානකය. මෙවන් අවස්ථාවකදී අගතියට පත් පාර්ශවය තම ඥාතියා අහිමි කරගත්තා පමණක් නොව තම යැපීම් මාර්ගයද අහිමි කර ගත් තත්වයට පත් වෙයි. මෙය සැබැවින්ම කබලින් ලිපට වැටීමේ තත්වයකි. ඉස්ලාමීය නීතිය තුළ අධිකරණය මරණ දඬුවම නියම කළ ද එහි අවසාන නිගමනය අගතියට පත් පාර්ශව කරුවන්ට ලබා දී තිබේ. මෙහි අඩංගු සර්ව සාධාරණීයත්වය අපට ප්‍රතික්ෂේප කළ නොහැක්කකි.





ඇතැම් මුලාශ්‍රයන් උපුටා දක්වමින් සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය මුස්ලිම් නොවන අයෙකු ඝාතනය කිරීමේදී බලනොපවත්වන බව විවිධ පාර්ශවයන් අදහස් ඉදිරිපත් කරති. මෙය සම්පුර්ණයෙන්ම සාවද්‍ය අදහස් දැක්වීමකි. රියාද් විශ්ව විද්‍යාලයේ ඉස්ලාමීය නීතිය පිළිබඳව මහාචාර්ය ධුරය දැරූ මොහමඩ් එස් එල්අවා මහතා විසින් තමන්ගේ ආචාර්ය උපාධිය සඳහා ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කළ පර්යේෂණාත්මක නිබන්ධයේ (Punishment in Islamic Law by Professor Mohammed S. El-Awa) 130 වන පිටුවේ අදහස් දැක්වීම සඳහා එක් ඡේදයක් ‘මුස්ලිම් නොවන අයෙකු ඝාතනය කළ විට සම ප්‍රතිචාර නීතිය මුස්ලිම් වරයෙකුට එරෙහිව බල පවත්වන අයුරු’ (Qisas Against a Muslim for killing a Non-Muslim) යන මාතෘකාව යටතේ වෙන් කොට ඇත. මෙම නීතිය සර්ව සාධාරණීය එකක් ලෙස අල් කුර්ආනය පැහැදිලි කොට තිබියදී කෙලෙස නම් එය මුස්ලිම් නොවන්නෙකු විෂයයෙහි බලරහිත කරවන්නේ ද කියා එතුමා ප්‍රශ්න කරයි.





ඉහත අල් කුර්’ආන් වැකි එනම් 2:178 හා 5:32 පොදුවේ මනුෂ්‍ය වර්ගයාට බල පවත්වන ආකාරයේ නියෝගයන්ය. එහෙයින් සමහර කුරාන් වැකි හා නබි වදන් විශ්වාසවන්තයෙකුව ප්‍රතික්ෂේප කරන්නෙකුට වඩා ශ්‍රේෂ්ඨත්වයේ සලකා අදහස් ඉදිරිපත් කොට තිබුණද, නීතිය ඉදිරියේ සැවොම සමාන ලෙස සැලකීම ඉස්ලාමීය නීතියේ සම්මතයයි. සත්‍යය, සාක්ෂි මත පදනම් වී විනිශ්චය කළ යුතු බව අල් බුහාරී හදීස් ග්‍රන්ථයේ වෙළුම් අංක 3 නබි වදන් අංක 638 මගින් නබිතුමාණන් උපදෙස් දී ඇත. තවත් වරෙක විනිශ්චයකරු කෝප වූ තත්වයේ සිටින අවස්ථාවේ තීන්දු නොදිය යුතු බව අල් බුහාරී හදීස් ග්‍රන්ථයේ වෙළුම් අංක 9 නබි වදන් අංක 272 මගින් නබි තුමාණන් තවදුරටත් උපදෙස් දී ඇත.





වැරදීමකින් එනම් අචේතනීය ඝාතනයක් ලෙස අධිකරණයට ඔප්පු වූ විට ඒ පිළිබඳව මරණ දඬුවම නියම කළ නොහැකිය. ඒ වෙනුවෙන් අගතියට පත් පාර්ශවයට වන්දි මුදල් ලබා දීම කළ යුතුව ඇත. සචේතනීය හා අචේතනීය ඝාතනයන්හි ඝාතකයා පශ්චාත්තාප වී දෙවිඳුන්ගෙන් සමාව ඇයද සිටිය යුතු බව ද ඉස්ලාමය උගන්වයි.





තාzසීර්





තාzසීර් යන වචනය අzසාර් යන ක්‍රියා පදය මුල් කර ගෙන බිහිවුවකි. අzසාර් යන පදයේ අර්ථය වැළක්වීම, ගෞරව කිරීම, සහ ප්‍රතිසංස්කරණය හෝ පරිශෝධනය කිරීම වේ. කෙසේ නමුත් ඉස්ලාමීය නීති ක්‍රමයේ තාzසීර් යන වචනයෙන් අදහස් වන්නේ අපරාධකරුවෙකු ව තවදුරටත් අපරාධයෙහි නියැළීමෙන් වළක්වා ගැනීම හා ඔහුව ප්‍රතිශෝධනය කර ගැනීම අරමුණු කර ගත් දඬුවම් පිළිවෙතකි. තාzසීර් දඬුවම් පිළිවෙත හුදුද් හා කිසාස්‌ පිළිවෙතට අඩංගු වන කරුණු පිළිබඳව විනිශ්චය සඳහා උපයෝගී කර ගනු නොලැබේ. හුදුද් පිළිවෙත පිළිබඳව සවිස්තරාත්මවක තවත් ලිපියකින් කරුණු සාකච්ඡා කිරීමට අදහස් කරන හෙයින් එම පිළිවෙතට අදාළව විනිශ්චය කළ හැකි චෝදනා පිළිබඳව එම ලිපියෙන් කරුණු ඉදිරිපත් කිරීමට අදහස් කරන්නෙමු.





නීති පැනවීම අවශ්‍යය, එමෙන්ම සුදුසුය. එම නීති පනවන්නේ කුමක් සඳහා ද? සමාජයේ යහ පැවැත්ම උදෙසාය. ජනයාගේ පහසුව හා සුරක්ෂිතභාවය සඳහාය. වැරදි කරන්නවුන් හික්මවා ගැනීම සඳහාය. ඔවුන් යහපත් මිනිසුන් බවට පත් කර ගැනීම සඳහාය. සමාජයේ යහපත් වාතාවරණයක් ඇති කර ගනු සඳහාය. නීති පැනවීම තුළින් අපේක්ෂා කරනුයේ දඬුවමට බියෙන් වරදින් වැළකී සිටිනවා මෙන්ම, සෑම කෙනෙක්ම නීතිය යුක්තිය හා දඬුවම පිළිබඳව අවබෝධයක් ඇති කර ගෙන වැරැද්දට පෙලඹීමේ මානසිකත්වය ඉවත් කොට යහකම් කිරීමේ මානසිකත්වයක් ඇති කර ගැනීමේ අවශ්‍යතාව සඳහාය. මෙවන් සමාජයක් සදාචාර සම්පන්න පුද්ගලයන්ගෙන් සමන්චිත උදාර සමාජයක් වශයෙන් හැඳින්විය හැක.





හුදුද් (නිශ්චිත දඬුවම්) නොදී වඩාත් උචිත වන්නේ චුදිතයාව ප්‍රතිශෝධනය කර ගැනීම නොවේද?





වර්තමාන ලෝකයේ ඉස්ලාමීය දඬුවම් පිළිවෙතට විරුද්ධව හඬ නගන්නන්ගෙන් බහුතරයකගේ මතය වී ඇත්තේ එය අමානුෂික පිළිවෙතක් වන බවට නගන චෝදනාවයි. මෙයට ඉහත පැහැදිලි කළ ආකාරයට කිසාස්‌ සහ තාzසීර් පිළිවෙත් හි ලොව අන් කිසිම නීති පද්ධතියක නොමැති මානුෂීය හා සාධාරණීය බවක් දක්නට ඇති බව ඔබට පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. ඉස්ලාම් විරෝධීන්ගේ ප්‍රධාන විරුද්ධතාව මතු වී ඇත්තේ හුදුද් (නිශ්චිත දඬුවම්) පිළිවෙතට ය. අප මෙම ලිපියේ ආරම්භයේ සඳහන් කළාක් මෙන් ඉස්ලාමයට එරෙහි බොහෝ චෝදනා මතු වී ඇත්තේ අනවබෝධය පදනම් කර ගෙන බව ඉතාමත්ම පැහැදිලිය. ඉස්ලාමීය සියලු දඬුවම් සකස් වී ඇත්තේ ඉතාමත්ම විද්‍යානුකුල පදනමක් මත බව කරුණු විචාරා දැන ගැනීමෙන් පසු නිශ්චිතවම පැහැදිලි වනු ඇත. නුතන වෛද්‍ය විද්‍යාව සකස් වී ඇත්තේ රෝග වළක්වා ගැනීම පිළිබඳව දැඩි අවධානයකින් යුක්තවය. වඩාත් උච්ත වන්නේත් එය බව ඕනෑම අයෙකුට තර්කයෙන් තොරව පිළිගැනීමට හැකි සත්‍යයකි. රෝග නිවාරණය හෙවත් ප්‍රතිකාර ක්‍රම ක්‍රියාත්මක වන්නේ රෝගය වැළඳීමෙන් පසුවය. මෙයින් ඔප්පු වන ප්‍රධානතම සත්‍යය වන්නේ රෝග වළක්වා ගැනීම නුතන වෛද්‍ය විද්‍යාවේ ප්‍රධානතම සංකල්පය බවය. එලෙසම ඉස්ලාමයේ මුලික අවධානය යොමු වී ඇත්තේ මුළු මහත් මනුෂ්‍ය වර්ගයාවම සදාචාර හා සමාජ විරෝධී ක්‍රියාවන්ගෙන් ආරක්ෂා කර ගැනීමටය. මෙම ලිපියේ ආරම්භයේදීම ෂරිආ පිළිවෙතේ අරමුණු ඉදිරිපත් කිරීමේදී කරුණු පහක සුරක්ෂිතභාවය පිළිබඳව කරුණු ඉදිරිපත් කළෙමු.එනම්, දහම, ජීවිතය, බුද්ධිය, ධනය හා පරපුර සුරක්ෂිත කිරීම ෂරිආ පිළිවෙතේ මුලික අරමුණු වෙයි. මෙම අරමුණු විග්‍රහ කරන ඉස්ලාමය මෙම කරුණු පහ සුරක්ෂික කිරීම සඳහා සැමට පිළි ගත හැකි, සැමට අනුගමනය කළ හැකි හා ප්‍රායෝගි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරයි.





නුතන සමාජය වසංගතාකාරයෙන් ස්ත්‍රී දුෂණ හා ළමා අපචාර සිදුවෙමින් පවතී. මෙවන් තත්වයක් ඇතිවීමට කරුණු රාශියක් විග්‍රහ කරන්නට ඇති අතර ඉතා කෙටියෙන් පවසන්නේ නම් සමාජයේ සිදුවෙමින් පවතින සදාචාර පිරිහීම මෙයට ප්‍රධාන හේතුවක් බවට පත් වී ඇත. ස්ත්‍රී පිරිමි ලිංගික ක්‍රියාවලිය සිදුවන්නේ පිරිමියාගේ ලිංගික උත්තේජනය මුල් කර ගෙනය. පිරිමියාගේ ලිංගික උත්තේජනයෙන් තොරව ලිංගික ක්‍රියාවලියක් සිදු නොවන බවට අමතර අටුවා ලියන්නට අවශ්‍යතාවක් නොමැති බව සැවොම පිළිගන්නා සත්‍යයකි. මෙම මාතෘකාව සාකච්ඡා කිරීමේදී ලිංගික උත්තේජන පිළිබඳව ඇති විද්‍යාත්මක විග්‍රහය කුමක්ද යන්න අප දැන ගැනීම වැදගත් වනු ඇත.





මිනිසා බඳු විෂම ලිංගික (hetero sexual) සත්වයින් තුළ ලිංගික හැඟීම් ඇති වන්නේ එක්තරා අන්තරාසර්ග ග්‍රන්ථියකින් වහනය වන හෝර්මෝන වර්ගයක් නිසා බව පර්යේෂණාත්මක මනෝවිද්‍යාවෙන් හා ජීව-රසායන විද්‍යාවෙන් පෙන්වා දී තිබේ. අධිලිංගිකතාව හෝ අවලිංගිකතාව මේ ග්‍රන්ථි වල අධික්‍රියාකාරිත්වය හෝ අවක්‍රියාකාරිත්වය මත කෙළින්ම රඳා පවතී.





ප්‍රති විරුද්ධ ලිංගිකයන්ගේ දර්ශනය, ගන්ධය, ස්පර්ශය, ශබ්දය ආදී ඉන්ද්‍රිය ග්‍රහණ නිසා හෝ ඒ සම්බන්ධ වෙනත් දෙයක් නිසා හෝ සිතේ ලිංගික හැඟීම් පිබිදේ. මෙහි ප්‍රතිඵලය ලෙස චාලක ස්නායු ඔස්සේ ලිංගික ග්‍රන්ථි කරා විද්‍යුත් ආවේග ගමන් කරයි. එවිට එම ග්‍රන්ථි වලින් රුධිරයට හෝර්මෝනය වහනය වෙයි. රුධිර සංසරණය මගින් මොළය දක්වා එන මෙම හෝර්මෝන පුද්ගලයාගේ සිතුවිලි තවත් පුබුදු කරයි. ජීව විද්‍යාත්මක සාධකයක් වන මෙම චිත්තවේග මර්දනය කිරීම පුද්ගලයාට කරන්නට අති දුෂ්කරය. ඒ හේතුවෙන් ඔහුට සියලු සදාචාර නීති අමතක වෙයි. වර්තමාන සමාජය දෙස බලන විට පිරිමියාගේ ලිංගික උත්තේජනයට උඩගෙඩි දෙන ආකාරයේ ස්ත්‍රී හැසිරීමක් තිබෙනවාද නැද්ද යන්න අපි ඔබගෙන් අසන්නට කැමැත්තෙමු. තවද නුතන මනෝ විද්‍යාව අපට උගන්වන්නේ පුරුෂයින්ට හා ස්ත්‍රීන්ට ලිංගික උත්තේජනය සිදුවන ආකාරයේ වෙනසක් ඇති බවය. අඩු ඇඳුමින් සැරසුණු පිරිමියෙකු දැකීමෙන් ස්ත්‍රියකගේ මනසේ ලිංගික පිබිදීමක් ඇතිවන්නේ ඉතාමත්ම අල්ප වශයෙන් බවත් ස්පර්ශය තුළින් ඇගේ හැඟීම් අවදි වීම ඉතා අධිකව සිදුවන්නක් බවත් මනෝ විද්‍යා සොයා ගැනීමකින් තොරව වුවත් අප අත්දකිනා සත්‍ය කරුණකි. අනෙක් අතින් අඩු ඇඳුමින් සැරසුණු ස්ත්‍රියකගේ ශරීරය දැකීමෙන් පිරිමියෙකුගේ සිත තුළ ඇති වන රාගික හැඟීම් ඉතාමත්ම අධික බවත් අප දන්නා සත්‍යයකි. නැවත වරක් අප පැවසිය යුතුව ඇත්තේ තමන්ගේ මව, බිරිය, දියණිය හෝ සොයුරිය මහ මඟ බහුතරයකගේ රාගික හැඟීම් ඇවිස්සීමේ ආධාරකයක් බවට පත්වීම සදාචාර සම්පන්න කිසිම පිරිමියෙක් අනුමත කරන ක්‍රියාවක් නොවන බවය. නමුත් පිටස්තර ස්ත්‍රීන් එසේ තමන්ගේ රාගය ඇති කරවන භාණ්ඩයක් බවට පත්වීම අපේක්ෂා කරන පිරිමින්ද අප සමාජයේ දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් බව පැවසිය යුතුව ඇත. මෙවන් ‘රෑ දනියෙල් දවල් මිගෙල්’ චරිත නිසා සිදු වී ඇති හානිය ඉමහත්ය. මනසේ මවා ගත් හරයක් නැති මතවාදයන් ඉදිරිපත් කරමින් සමාජය නොමඟ යවන්නට යමෙක් කටයුතු කරයි නම් එය ඉතාමත්ම පහත් ක්‍රියාවකි.





පිරිමියෙකුට තම පෙකණියේ සිට දණහිස වැසෙන පරිදි ඇඳුමක් ඇඳීම සදාචාර විරෝධී ක්‍රියාවක් ලෙස කිසිවෙක් දකීවියි අපි නොසිතන්නෙමු. නමුත් එම ඇඳුම ස්ත්‍රියකට කෙසේ නම් සුදුසු විය හැකිද? පෙකණියේ සිට දණහිස දක්වා ඇඳුමක් ඇඳගත් පිරිමියෙකු තම ගෙවත්තේ වැඩ කරන විට එය අසලින් යන පිටස්තර ස්ත්‍රීන්ට ඔහු ලිංගික ආකර්ෂණයක් නොවන බව අපි ඉතාම හොඳින් දනිමු. නමුත් එම ඇඳුමම ඇඳ ස්ත්‍රියක් එම කාර්යයේම නියැළුනහොත් සිදුවිය හැකි කලබැගෑනිය පිළිබඳව අමුතුවෙන් කිව යුතු වන්නේද? මෙයින් පෙනෙන්නේ ස්ත්‍රී පිරිමි දෙකොටසේම ඇඳුම් සම විය නොහැකි බව නොවේද?





 





 



Recent Posts

“ෂරිආ” පිළිවෙත පිළිබඳ ...

“ෂරිආ” පිළිවෙත පිළිබඳ විමසුමක්

ඉස්ලාම් හි උපවාසයේ අර ...

ඉස්ලාම් හි උපවාසයේ අරමුණ

ඉස්ලාමීය දැක්මෙන් ප්‍ ...

ඉස්ලාමීය දැක්මෙන් ප්‍රේමවන්තයින්ගේ දිනය මව්ලවි යූසුෆ් ඉම්තියාස්