නියමිත සීමා මායිම් හි නොවන අයගේ සීමා මායිම්
හජ් හෝ උම්රා වෙනුවෙන් හෝ ඒ දෙකම වෙනුවෙන් හෝ ඉහ්රාම් බඳින නියමිත සීමා මායිම් හි නොවන අයගේ සීමා මායිම වනුයේ ඒ වෙනුවෙන් චේතනා කර ගත් ඔවුන් පදිංචිව සිටින ස්ථානයයි.
عَنْ ابْنِ عَبَّاسٍ رضي الله عنهما: "أَنَّ رَسُوْلَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَّتَ لِأَهْلِ الْمَدِينَةِ ذَا الْحُلَيْفَةِ وَلِأَهْلِ الشَّامِ الْجُحْفَةَ وَلِأَهْلِ نَجْدٍ قَرْنَ الْمَنَازِلِ وَلِأَهْلِ الْيَمَنِ يَلَمْلَمَ هُنَّ لَهُنَّ وَلِمَنْ أَتَى عَلَيْهِنَّ مِنْ غَيْرِهِنَّ مِمَّنْ أَرَادَ الْحَجَّ وَالْعُمْرَةَ وَمَنْ كَانَ دُونَ ذَلِكَ فَمِنْ حَيْثُ أَنْشَأَ حَتَّى أَهْلُ مَكَّةَ مِنْ مَكَّةَ" (متفق عليه)
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.
නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මදීනා වැසියන්ට දුල් හුලෙයිෆා නම් ස්ථානය ද ෂාම් - සිරියා- වැසියන්ට අල්-ජුහ්ෆා නම් ස්ථානය ද නජ්ද් වැසියන්ට කර්නුල් මනාසිල් නම් ස්ථානය ද යමන් වැසියන්ට යලම්ලම් නම් ස්ථානය ද (ඉහ්රාම් බැඳීමේ) සීමා මායිම් ලෙස නියම කළේය. ඒවා හජ් හා උම්රා ඉටු කිරීමට අපේක්ෂා කරන ඒවායෙ හි වැසියන්ට හා ඒවායෙහි වැසියන් නොවන ඒවා ඔස්සේ පැමිණෙන්නන්ටය. කවරෙකු එය හැර වෙනත් ස්ථානයක වෙත් ද ඔහු චේතනා කර ගත් ස්ථානයේ සිට ඉහ්රාම් බැද ගනියි. මක්කාහ් වැසියන් ද මක්කාහ්වේ සිටම ඉහ්රාම් බැඳ ගනිති. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
මක්කාහ්වට පැමිණෙන උදවියගේ සීමා මායිම
1. මක්කාහ්වේ වැසියන් හැර ඒ වෙත වෙනත් ස්ථානයන් හි සිට පැමිණෙන්නන් හජ් හා උම්රා කිරීමේ අදිටනින් පැමිණෙන්නේ නම් කවර සීමා මායිමක් පසු කර යන්නේ ද එම ස්ථානයේ ඉහ්රාම් බැඳ ගනු ඇත.
ඉෆ්රාද් හෝ කිරාන් ක්‍රමයට කරන්නේ නම් තවාෆ් කර සඃයු ද කර පසුව ෂෙයිතාන්ට ගල් ගසා නහ්ර් දින හිසකෙස් කපන තෙක් එම ඉහ්රාම් තත්ත්වයේම පසු වෙයි.
තමත්තුඃ ක්‍රමයට කරන්නේ නම් ඔහුගේ උම්රාව සම්පූර්ණ කර ඉහ්රාම් ගලවා පසුව සාමාන්‍ය ඇදුමින් සැරසෙයි. පසුව මක්කාවේ නවාතැන් ගන්නා ස්ථානයේ සිට දුල් හිජ්ජා මස අට වැනි දින හජ් සඳහා ඉහ්රාම් බැඳ ගනියි. පසුව මිනා දෙසට පිටත් ව යයි.
عَنْ جَابِر بْنِ عَبْدِ اللهِ رَضِيَ اللهُ عَنْهُمَا أَنَّهُ حَجَّ مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ سَاقَ الْبُدْنَ مَعَهُ وَقَدْ أَهَلُّوا بِالْحَجِّ مُفْرَدًا فَقَالَ لَهُمْ أَحِلُّوا مِنْ إِحْرَامِكُمْ بِطَوَافِ الْبَيْتِ وَبَيْنَ الصَّفَا وَالْمَرْوَةِ وَقَصِّرُوا ثُمَّ أَقِيمُوا حَلَالًا حَتَّى إِذَا كَانَ يَوْمُ التَّرْوِيَةِ فَأَهِلُّوا بِالْحَجِّ وَاجْعَلُوا الَّتِي قَدِمْتُمْ بِهَا مُتْعَةً فَقَالُوا كَيْفَ نَجْعَلُهَا مُتْعَةً وَقَدْ سَمَّيْنَا الْحَجَّ فَقَالَ افْعَلُوا مَا أَمَرْتُكُمْ فَلَوْلَا أَنِّي سُقْتُ الْهَدْيَ لَفَعَلْتُ مِثْلَ الَّذِي أَمَرْتُكُمْ وَلَكِنْ لَا يَحِلُّ مِنِّي حَرَامٌ حَتَّى يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُ فَفَعَلُوا
ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.
බයිතුල්ලාව තවාෆ් කරන ස්ථානය හා සෆා අතර ඔබගේ ඉහ්රාමයෙන් මිදෙන්න. හිස කෙස් කොට කර ගන්න. පසුව යව්මුත් තර්වියා හෙවත් හජ් මස අට වැනි දින තෙක් අනුමත දෑ කරන්න. පසුව හජ් සඳහා ඉහ්රාම් අඳින්න. ඔබ කවර චේතනාවකින් පැමිණියේ ද එය මුත්ආ බවට පත් කර ගන්න.
එවිට සහාබාවරු අපි එය මුත්ආ ලෙස පත් කර ගන්නේ කෙසේ ද අප අසා තිබෙන්නේ හජ් ගැන පමණි. යැයි පවසා සිටියහ.
එවිට එතුමාණෝ මම ඔබට අණ කළ දෑ කරන්න. මම හද්යු ලබා දීමට (සතෙකු කැප කිරීමට) නොවේ නම් සැබැවින්ම මමත් ඔබට අණ කළ දෑ කර කරන්නෙමි නමුත් හද්යු නියමිත ස්ථානයට ළඟා වන තුරු තහනම් දෙයක් මට අනුමත නොවන්නේය. යැයි පැවසූහ. පසුව ඔවුන් එසේ කළෝය. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
2. කවරෙකු මක්කාව වෙත හජ් හෝ උම්රා සඳහා පැමිණ පසුව ඔහුගේ වතාවත් සම්පූර්ණ කර පසුව ඔහු වෙනුවෙන් තවත් කෙනෙකු වෙනුවෙන් තවත් උම්රාවක් කිරීමට අපේක්ෂා කරන්නේ නම් එවිට උම්රා සඳහා ඉහ්රාම් ඇඳ ගැනීමට තන්ඊම් වැනි මායිම් ස්ථානය වෙත පිටත් ව යෑම ඔහු කෙරෙහි පැවරෙන වගකීමකි.
3. උම්රා කිරීමෙන් පසුව හජ් කිරීම සඳහා අපේක්ෂා කළේ නම් මක්කාහ්වේ ඔහු නවාතැන් ගෙන සිටින ස්ථානයේම ඉහ්රාම් ඇද ගනියි.
عَنْ عَائِشَةَ رَضِيَ اللهُ عَنْهَا أَنَّهَا أَهَلَّتْ بِعُمْرَةٍ فَقَدِمَتْ وَلَمْ تَطُفْ بِالْبَيْتِ حَتَّى حَاضَتْ فَنَسَكَتْ الْمَنَاسِكَ كُلَّهَا وَقَدْ أَهَلَّتْ بِالْحَجِّ فَقَالَ لَهَا النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ النَّفْرِ يَسَعُكِ طَوَافُكِ لِحَجِّكِ وَعُمْرَتِكِ فَأَبَتْ فَبَعَثَ بِهَا مَعَ عَبْدِ الرَّحْمَنِ إِلَى التَّنْعِيمِ فَاعْتَمَرَتْ بَعْدَ الْحَجِّ (متفق عليه)
අඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම ඇය උම්රා සඳහා ඉහ්රාම් ඇඳ පැමිණියාය. ඔසප් තත්ත්වය අවසන් වන තෙක් ඇය තවාෆ් නොකළාය. අනෙකුත් වතාවන් සියල්ලම ඉටු කළාය. පසුව හජ් සඳහා ඉහ්රාම් ඇඳ ගත්තාය. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ඇයට ඔබේ හජ් සඳහා ද ඔබේ උම්රා සඳහා ද ඔබේ තවාෆය ඔබට කළ හැකිය යැයි හජ් මස අට වැනි දින පවසා සිටියහ. එවිට ඇය රාත්‍රියෙහි නවාතැන් ගත්තාය. පසුව නබි තුමාණෝ ඇයව අබ්දුර් රහ්මාන් සමග තන්ඊම් වෙත එවූහ. පසුව හජ් කිරීමෙන් පසුව උම්රා කළාය. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
ගුවන් යානාවේ ඉහ්රාම් ඇදීමේ ක්‍රමය
1- හජ් කිරීමට හෝ උම්රා කිරීමට හෝ ඒ දෙක එකට කිරීමට හෝ අපේක්ෂාවෙන් කවරෙකු ගුවන් යානයට ගොඩ වන්නේ ද ඔහු නියමිත සීමා මායිමට උඩින් ගුවන් යානය පියාසර කරන විට යානය තුළ සිටම ඉහ්රාමය සඳහා චේතනා තබා ඉහ්රාම් ඇඳුම ඇඳ ගනියි. ඔහු අතැතිව ඉහ්රාම් ඇඳුමක් නොතිබේ නම් ඇතිරිල්ලක් වැනි කුමන වර්ගයකින් වුවද වේට්ටියක් හා උඩු කයක් ඇඳ ගනියි. එය ද නොලැබුණේ නම් තමන් ඇඳ සිටින ඇඳුම වෙට්ටියක ස්වරූපයෙන් ඇඳ හිස ආවරණය කරන රෙදි කඩ උඩුකය බවට පලඳයි. සරමක් කලිසමක් වැනි දෙයක් හැර වෙන කිසිවක් නොලැබුණේ නම් එමගින් ඉහ්රාම් තබා ගනියි. ගුවන් යානයෙන් ගොඩබැස්ස විට ඔහු ඉහ්රාම් ඇඳුම ලැබෙන මොහොතක ඇඳ ගනියි.
عَنْ ابْنِ عَبَّاسٍ رَضِيَ اللهُ عَنْهُمَا قَالَ خَطَبَنَا النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِعَرَفَاتٍ فَقَالَ "مَنْ لَمْ يَجِدْ الْإِزَارَ فَلْيَلْبَسْ السَّرَاوِيلَ وَمَنْ لَمْ يَجِدْ النَّعْلَيْنِ فَلْيَلْبَسْ الْخُفَّيْنِ" متفق عليه
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අරෆාවෙහි සිට අපට දේශනයක් පැවැත්වූහ. එවිට එතුමා කවරෙකුට වේට්ටියක් නොලැබුණේ ද ඔහු කලිසමක් හෝ ඇඳ ගත යුතුයි. කවරෙකුට සෙරෙප්පු දෙකක් නොලැබුණේ ද ඔහු සපත්තු දෙක හෝ ඇඳ ගත යුතුයි. යනුවෙන් පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
2- හජ් කිරීමට හෝ උම්රා කිරීමට හෝ අපේක්ෂාවෙන් පැමිණෙන කෙනෙකු ජිද්දා ගුවන් තොටුපළට ගොස් බැසීමෙන් පසු එහි දී ඉහ්රාම් අඳින තෙක් ඉහ්රාමය ප්‍රමාද කිරීම අනුමත නොවෙයි. එසේ සිදු කළේ නම් ඉහ්රාම් සඳහා නියම කළ ළඟම ඇති සීමා මායිමට ගොස් ඉහ්රාම් බැඳ ගැනීම අනිවාර්යය වේ. ජිද්දා ගුවන් තොටුපළට ළඟම ඇති සීමා මායිම වන්නේ ජුහ්ෆා නම් මායිමයි.
3- ජිද්දාවට අවශ්‍යතාවක් සඳහා ගොස් පසුව උම්රා කිරීමට සිදු වූයේ නම් ඔහු සිටින ස්ථානයේ සිටම ඉහ්රාම් බැඳ ගනියි.
කවරෙකු එහි සේවය කිරීමේ අපේක්ෂාවෙන් ගොස් පසුව උම්රාවක් කිරීමේ චේතනාවෙන් ගියේ ද ඔහු තම සේවය අවසන් කොට ජුහ්ෆා වැනි තමන් සිටින ස්ථානයට ළඟම සීමා මායිමට ගොස් ඉහ්රාම් බැඳ ගනියි. පසුව උම්රා ඉටු කිරීම සඳහා මක්කාව බලා පිටත්ව යයි.
මීකාත් (සීමා මායිම්) දෙකක් පසු කර ගෙන යන්නාගේ නීතිය
හජ් හෝ උම්රාවක අපේක්ෂාවෙන් සීමා මායිම් දෙකක් පසු කර යෑමට කෙනෙකුට සිදු වූයේ නම් ඒ දෙකෙහිම ඉහ්රාම් පැලඳ ගත් තත්ත්වයේම තරණය කිරීම අනිවාර්යය වෙයි. එනම් පළමුවැනි මායිම අසලම ඔහු ඉහ්රාම් ඇඳ ගනියි.
ඊජිප්තු හා සිරියානු වන්දනා කරුවන් හෝ යුරෝපය ඇමරිකාව අප්‍රිකාව වැනි බටහිර රටවල් වලින් පැමිණෙන වන්දනා කරුවන් ඔවුනට නියම කරන ලද ජුහ්ෆා නම් සීමා මායිමට පැමිණීමට පෙර මදීනා වැසියන්ට නියම කරන ලද සීමා මායිම ඔස්සේ ගමන් කළේ නම් ඔහු සුල් හුලෙයිෆා නම් ස්ථානයෙහි ම ඉහ්රාම් බැඳ ගත යුතුයි. ජුහ්ෆා සීමා මායිමට පැමිණෙන තෙක් ඉහ්රාමය ප්‍රමාද කිරීම ඔහුට සුදුසු නොවෙයි. හේතුව සීමා මායිම් පිහිටා ඇත්තේ හජ් හෝ උම්රා අපේක්ෂාවෙන් පැමිණෙන එම වැසියන්ටත් ඒ හරහා ගමන් කරන අයටත්ය.
3- අල්- ඉහ්රාම්
ඉහ්රාම් යනු හජ් හෝ උම්රා පිළිවෙත්හි ප්‍රවේශ වීම සඳහා තබන චේතනාවයි.
ඉහ්රාම් හි යථාර්ථය
අල්ලාහ් තම පිවිතුරු නිවසට පාරිශුද්ධ සීමාවන් හා ඒ තුළට පිවිසීමේ සීමා මායිම් තබා ඇත. එබැවින් හරම් සීමාව තුළට පිවිසීමට අපේක්ෂා කරන්නෙකු නියමිත ක්‍රමයකට හා නියමිත චේතනාවකින් මිස එම සීමා මායිම් ඔහුට තරණය කළ නොහැක.
ඉහ්රාම් ඇඳුම ඇඳ ගැනීමේ ස්ථානය
නියමිත සීමා මායිම් හි ස්නානය කිරීමෙන් පසුව ඉහ්රාම් ඇඳුම පැලඳීම සුන්නාහ්වකි. පිරිමින්ගේ ඉහ්රාම් ඇඳුම වනුයේ වේට්ටියක් උඩුකයක් හා පාවහන් යුගලකි.
සීමා මායිම් වලට සමීපයෙන් වෙසෙන මදීනා හා තඉෆ් වැසියන් වැනි පදිංචිකරුවන් නම් තම නිවසෙහි ම ඉහ්රාම් ඇඳුම ඇඳ ගෙන පසුව නියමිත සීමා මායිම වෙත ළඟා වෙත්ම හජ් හෝ උම්රා සඳහා අදිටන් කර ගැනීම ආගමානු ගත කර ඇත. මක්කාහ් වෙතට ගුවන් මාර්ග ඔස්සේ පැමිණෙන්නන් ද මෙම ඝනයට අයත් වෙති.
عَنْ عَبْدِ اللهِ بْنِ عَبَّاسٍ رَضِيَ اللهُ عَنْهُمَا قَالَ: انْطَلَقَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ الْمَدِينَةِ بَعْدَ مَا تَرَجَّلَ وَادَّهَنَ وَلَبِسَ إِزَارَهُ وَرِدَاءَهُ هُوَ وَأَصْحَابُهُ فَلَمْ يَنْهَ عَنْ شَيْءٍ مِنْ الْأَرْدِيَةِ وَالْأُزُرِ تُلْبَسُ إِلَّا الْمُزَعْفَرَةَ الَّتِي تَرْدَعُ عَلَى الْجِلْدِ فَأَصْبَحَ بِذِي الْحُلَيْفَةِ رَكِبَ رَاحِلَتَهُ حَتَّى اسْتَوَى عَلَى الْبَيْدَاءِ أَهَلَّ هُوَ وَأَصْحَابُهُ وَقَلَّدَ بَدَنَتَهُ وَذَلِكَ لِخَمْسٍ بَقِينَ مِنْ ذِي الْقَعْدَةِ. (أخرجه البخاري)
අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තම හිසකෙස් පිළිවෙළට සකස් කොට තම වේට්ටිය හා උඩුකය ඇඳ එතුමා හා එතුමාගේ අනුගාමිකයින් මදීනාවෙන් පිටත් ව පා ගමනින් ගමන් කළහ. හමට ඇලී ඇති කුංකුමං මිශ්‍ර රෙදි හැර අනෙකුත් උඩුකය හා වේට්ටි කිසිවක් තහනම් නොකළහ. පසුව දුල් හුලෙයිෆා නම් ස්ථානයට පැමිණියහ. එතුමා අල්-බයිදා නම් ස්ථානයට පැමිණෙන තෙක් ඔටු පිට නැග ගමන් කළහ. එහි දී එතුමා හා එතුමාගේ අනුගාමිකයින් තල්බියා පවසන්නට පටන් ගත්හ. තවද ඔටුවාට සලකුණු තැබූහ. එය දුල් කඃදා මාසයේ දින පහක් ඉතිරිව තිබිය දීය. (මූලාශ්‍රය: බුහාරි)
ඉහ්රාම් හි ක්‍රමය
1- හජ් හෝ උම්රා සඳහා චේතනා තැබීමට අපේක්ෂා කරන අය ස්නානය කර ගැනීමත් පිරිසිදු වීමත් පලඳින රෙදිකඩට සුවඳ විලවුන් නොගල්වා ශරීරයට පමණක් සුවඳ විලවුන් ගැල්වීමත් මසා නිම නොකළ උඩුකය හා වේට්ටිය යන සුදු රෙදිකඩ දෙකක් ඇඳ ගැනීමත් පාවහන් පැලඳීමත් සුන්නාහ්වකි. එමෙන්ම කාන්තාව ද ඇය ඔසප් හෝ නිෆාස් තත්ත්වයක පසු වුව ද ඉහ්රාම් සඳහා ස්නානය කර ගැනීමත් සිත් ඇද ගන්නා සුළු කැපී පෙනෙන ශරීරයට ඇලවුණු ඇඳුම් පැලඳීමෙන් හා පිරිමින් හා ප්‍රතික්ෂේපකයින්ට ආදේශ ඇඳුමින් සැරසීමෙන් වැළකී ශරීරය ආවරණය වන කවර හෝ ඇඳුමක් ඇඳ ගැනීමත් අත් හා මුහුණු නිරාවරණය කිරීමත් සුන්නාවකි.
2- පහසුකමක් ඇත්නම් අනිවාර්යය හෝ අතිරේක සලාතයක් ඉටු කිරීමෙන් පසුව ඉහ්රාම් තැබීම සුන්නාහ්වකි. හජ් හෝ උම්රාවෙන් අපේක්ෂා කෙරෙන වතාවන් හි නියැළීම සම්බන්ධව තම සිතෙහි අදිටන් කර ගනියි. මස්ජිදයේ සලාතය ඉටු කිරීමෙන් පසුව හෝ තම ඔටුවා මදක් කිබ්ලා දෙසට හැරී සිටින අවස්ථාවේ දී හෝ ඉහ්රාම් සඳහා වූ චේතනාව තැබීම සුන්නාහ්වකි. එමෙන්ම තල්බියා පැවසීමෙ හි නිරත වීමට පෙර අල්හම්දු ලිල්ලාහ් යැයි පවසා අල්ලාහ්ව ප්‍රශංසා කිරීමත් සුබ්හානල්ලාහ් යැයි පවසා ඔහුව පිවිතුරු කිරීමත් අල්ලාහු අක්බර් යැයි පවසා ඔහුව උත්කෘෂ්ට කිරීමත් සුන්නාහ්වකි.
3- ඉහ්රාම් චේතනාව තැබූ කෙනෙකු ඔහු ඉටු කරන්නට යන නැමදුම සිහිපත් කර ගනිමින් එය උම්රාවක් නම්
لَبَّيْكَ عُمرَةً ලබ්බයික් උම්රතන්
(උම්රා සඳහා මම ඔබට ප්‍රතිචාර දැක්වූයෙමි.)
යනුවෙන් ද එය හජ් නම්
لَبَّيْكَ حَجًّا ලබ්බයික් හජ්ජන්
(හජ් සඳහා මම ඔබට ප්‍රතිචාර දැක්වූයෙමි.)
යනුවෙන් ද ඒ දෙකම එකවර කරන්නේ නම්
لَبَّيْكَ عُمرَةً وَحَجًّا ලබ්බයික් උම්රතන් වහජ්ජන්
(උම්රා හා හජ් සඳහා මම ඔබට ප්‍රතිචාර දැක්වූයෙමි.)
යනුවෙන් ද ඔහු තමත්තුඃ ක්‍රමයට කරන්නේ නම්
لَبَّيْكَ عُمرَةً ලබ්බයික් උම්රතන්
(උම්රා සඳහා මම ඔබට ප්‍රතිචාර දැක්වූයෙමි.)
යනුවෙන් ද පැවසීම සුන්නාහ්වකි. හජ් ඉටු කරන්නා මෙසේ පවසයි.
اللَّهُمَّ هَذِهِ حَجَّةٌ لاَ رِيَاءٌ فِيْهَا وَلاَ سَمْعَةٌ
අල්ලාහුම්ම හාදිහි හජ්ජතුන් ලා රියාඋන් ෆීහා වලා සම්අත්
යා! අල්ලාහ්, මෙය හජ්ය. එහි කිසිදු මූණිච්චාවක් නොමැත.
නොවැළැක්විය හැකි හේතුවක් මත වත්පිළිවෙත් වලින් ඉවත් වීමේ නීති කොන්දේසි
වැඩිවියට පත් අයෙකු හජ් හෝ උම්රා සඳහා ඉහ්රාම් චේතනාව තැබුවේ නම් එය සම්පූර්ණ කිරීම ඔහුට අනිවාර්යය. නමුත් වැඩිවියට පත් නොවූ දරුවෙකුට එසේ සම්පූර්ණ කිරීම අනිවාර්යය නොවේ. හේතුව ඔහු වගකීම් දරණ වයස් සීමාවක පසු නොවන බැවිනි. එමෙන්ම ඔහු වාජිබ් හෙවත් අනිවාර්යය කිසිවක් කිරීමට බැඳී නොමැත.
ඉහ්රාම් චේතනාව තැබූ කෙනෙකු රෝගියෙකු හෝ ත්‍රස්ත බියක් ඇත්තෙකු වී නම් වත්පිළිවෙත් වල ඉහ්රාම් චේතනාවෙන් මිදෙන අවස්ථාවේ පහත සඳහන් පරිදි පැවසීම සුන්නාහ්වකි.
إنْ حَبَسَنِيْ حَابِسٌ فمَحِلِّي حَيْثُ حَبَسْتَنِي
ඉන් හබසනී හාබිසුන් ෆමහල්ලී හයිසු හබස්තනී.
බාධකයක් මා වෙත බාධා කළේ නම් මා වෙත බාධා කළ මෙහොතේ මම ඉහ්රාමයෙන් ඉවත් වෙමි.
පසුව ඔහුව යම් බාධකයක් වැළැක්වූයේ නම් හෝ ඔහුගේ රෝගය වැඩි වූයේ නම් හෝ ඉහ්රාමයෙන් ඉවත් වෙයි. ඒ වෙනුවට හද්යු හෙවත් සතෙකු කැප කිරීමේ අවශ්‍යතාවක් ඔහු කෙරෙහි නොමැත. ඉහ්රාම් තැබූ පුද්ගලයෙකු එවැනි කොන්දේසියක් චේතනා නොකර පසුව ඔහුව යම් බාධකයක් වැළැක්වූයේ නම් සතෙකු කැප කිරීම අනිවාර්යය වේ. අනතුරුව හිස බූ ගෑමෙන් පසුව ඉහ්රාමයෙන් මිදෙයි.
1- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَأَتِمُّوا الْحَجَّ وَالْعُمْرَةَ لِلهِ فَإِنْ أُحْصِرْتُمْ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ وَلَا تَحْلِقُوا رُءُوسَكُمْ حَتَّى يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُ
නුඹලා හජ් හා උම්රා අල්ලාහ් වෙනුවෙන් සම්පූර්ණ කරවු. (එය සම්පූර්ණ කිරීමෙන්) නුඹලාව වළක්වනු ලැබුවේ නම් හද්යෙන් (සත්ව කැප කිරීමකින්) පහසු වන දෑ (නුඹලා දිය යුතුව) ඇත. හද්ය (සත්ව කැප කිරීම) එහි (වළක්වනු ලැබූ) නිශ්චිත ස්ථානයට පැමිණෙන තෙක් නුඹලාගේ හිස් මුඩු නොකරවු. (අල්-කුර්ආන් 2:196)
2-
عَنْ عَائِشَةَ رضي الله عنها قَالَتْ: دَخَلَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى ضُبَاعَةَ بِنْتِ الزُّبَيْرِ فَقَالَ لَهَا "لَعَلَّكِ أَرَدْتِ الْحَجَّ" قَالَتْ "وَاللهِ لَا أَجِدُنِي إِلَّا وَجِعَةً" فَقَالَ لَهَا "حُجِّي وَاشْتَرِطِي وَقُولِي اللَّهُمَّ مَحِلِّي حَيْثُ حَبَسْتَنِي" (متفق عليه)
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ලුබාඅත් බින්ති සුබෙයිර් (රළියල්ලාහු අන්හා) තුමිය වෙත යන ලදී. එවිට ඔබ හජ් ඉටු කිරීමට අපේක්ෂා කරන්නෙහි දැ?යි ඇසූහ. අල්ලාහ් මත දිවුරා පවසමි. (මට අත් වී තිබෙන) මෙම වේදනාව මිස වෙන කිසිවක් (හජ් ඉටු කිරීමට බාධාවක් ලෙස) නොදකිමි. එවිට එතුමාණෝ ඔබ හජ් කරන්න. කොන්දේසි පනවා ගන්න. අල්ලාහුම්ම මහිල්ලී හයිසු හබස්තනී (යා! අල්ලාහ්, මා හට බාධාවක් ඇති වූ මෙහොතේ මම ඉහ්රාමයෙන් ඉවත් වෙමි.) යැයි පවසන්න. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
ඉහ්රාම් අවස්ථාවේ සලාතයේ නීතිය
හජ් හෝ උම්රා සඳහා ඉහ්රාම් චේතනාව තැබීමට අපේක්ෂා කරන්නා සලාතයට පසුව එසේ ඉහ්රාම් චේතනාව තැබීම සුන්නාහ්වකි.
එය අනිවාර්යය සලාතයක වේලාවක් නම් එම අනිවාර්ය සලාතය ඉටු කර පසුව ඉහ්රාම් චේතනාව තබා එයට නියමිත ඇඳුම ඇඳ ගනී. එය අනිවාර්යය සලාතයක වේලාවක් නොවේ නම් අතිරේක රකආත් දෙකක් ඉටු කර පසුව ඉහ්රාම් බැඳ ගනී.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා අනිවාර්යය හා අතිරේක සලාතයන්ට පසුව දුල් හුලෙයිෆා නම් ස්ථානයෙ හි ඉහ්රාම් බැඳ ගත්හ. මෙයයි පූර්ණත්වය වන්නේ.
එබැවින් කවරෙකු අනිවාර්යය හෝ අතිරේක සලාතයකට පසුව ඉහ්රාම් බැඳ ගත්තේ ද ඔහු එම විෂයයෙ හි කොටසක් ඉටු කළේය. කවරෙකු අනිවාර්යය හෝ අතිරේක සලාතයකට පසුව ඉහ්රාම් නොබැන්ඳේ ද ඔහු එම විෂය අනුගමනය නොකළේය. හේතුව ඉහ්රාම් චේතනාව තබා එයට නියමිත ඇඳුම ඇඳ ගත් අවස්ථාවේ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ක්‍රියා කළ අයුරින් මොහු ක්‍රියා නොකළ බැවිනි.
عَنِ ابْنِ عَبَّاسٍ رَضِيَ اللهُ عَنْهُمَا يَقُولُ إِنَّهُ سَمِعَ عُمَرَ رَضِيَ اللهُ عَنْهُ يَقُولُ سَمِعْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِوَادِي الْعَقِيقِ يَقُولُ أَتَانِي اللَّيْلَةَ آتٍ مِنْ رَبِّي فَقَالَ "صَلِّ فِي هَذَا الْوَادِي الْمُبَارَكِ وَقُلْ عُمْرَةً فِي حَجَّةٍ" (أخرجه البخاري
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් මෙසේ වාර්තා කරන ලදී. නබි (සල්ලලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා අකීක් නම් මිටියාවතෙ හි කළ ප්‍රකාශයකට උමර් (රළියල්ලාහු අන්හු) තුමා සවන් දුන් බවටත් උමර් (රළියල්ලාහු අන්හු) තුමා එම ප්‍රකාශය පැවසීම තමන් අසා සිටි බවටත් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
රාත්‍රියෙහි මාගේ පරමාධිපති වෙතින් කෙනෙකු මා වෙත පැමිණ ඔබ මෙම භාග්‍යමත් මිටියාවතෙ හි සලාතය ඉටු කරන්න. උම්රතන් ෆී හජ්ජතින් (හජ් හි උම්රාවක්) යැයි ද පවසන්න. යැයි ප්‍රකාශ කර සිටියේය. (මූලාශ්‍රය: බුහාරි)
තල්බියා පවසන ක්‍රමය
1- ඉහ්රාම් බැඳ ගත් පසු එමෙන්ම අල්හම්දු ලිල්ලාහ් යැයි අල්ලාහ්ට ප්‍රශංසා කර සුබ්හානල්ලාහ් යැයි අල්ලාහ්ව පිවිතුරු කර අල්ලාහු අක්බර් යැයි අල්ලාහ්ව උත්කෘෂ්ටභාවයට පත් කළ පසුව පහත සඳහන් අයුරින් පැවසීම සුන්නාහ්වකි.
لَبَّيْكَ اللَّهُمَّ لَبَّيْكَ لَبَّيْكَ لَا شَرِيكَ لَكَ لَبَّيْكَ إِنَّ الْحَمْدَ وَالنِّعْمَةَ لَكَ وَالْمُلْكَ لَا شَرِيكَ لَكَ
ලෙබ්බයික් අල්ලාහුම්ම ලෙබ්බෙයික් ලෙබ්බෙයික් ලාෂරීක ලක ලෙබ්බෙයික් ඉන්නල් හම්ද වන් නිඃමත ලක වල් මුල්ක ලා ෂරීක ලක
මම ඔබට ප්‍රතිචාර දැක්වූයෙමි. යා! අල්ලාහ්, මම ඔබට ප්‍රතිචාර දැක්වූයෙමි. මම ඔබට ප්‍රතිචාර දැක්වූයෙමි. ඔබට කිසිදු හවුල් කරුවෙකු නොමැත. මම ඔබට ප්‍රතිචාර දැක්වූයෙමි. සැබැවින්ම ප්‍රශංසාවත් භාග්‍යයත් ඔබ සතුය. එමෙන්ම පාලන බලයත් (ඔබ සතුය) ඔබට කිසිදු හවුල්කරුවෙකු නොමැත.
2-
عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قال: كَانَ مِنْ تَلْبِيَتِ النبي صلى الله عليه وسلم : "لَبَّيْكَ إِلَهَ الْحَقِّ لَبَّيْكَ" متفق عليه
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ තල්බියාව වූයේ
لَبَّيْكَ إِلَهَ الْحَقِّ لَبَّيْكَ
ලබ්බෙයික් ඉලාහල් හක්කි ලෙබ්බෙයික්
(සැබෑ දෙවියාට මම ප්‍රතිචාර දැක්වූයෙමි. මම ප්‍රතිචාර දැක්වූයෙමි.) යනුවෙනි. (මූලාශ්‍රය: අන්-නසාඉ, ඉබ්නු මාජා)
තල්බියා පැවසීමේ මහිමය
ඉහ්රාම් චේතනාවෙන් එයට නියමිත ඇඳුම ඇඳ ගත් අය අධික ලෙස තල්බියා පැවසීම සුන්නාහ්වකි. තල්බියා හජ් හා උම්රාවෙ හි සංකේතයයි. පිරිමින් හා කාන්තාවන් එය හඬ නගා පවසයි. කාන්තාවට එය ගැටලුවක් නම් නිහඬව පවසයි. ඇතැම් විට තල්බියා පවසයි. ඇතැම් විට ලා ඉලාහ ඉල්ලල්ලාහ් යනුවෙන් තහ්ලීල් පවසයි. ඇතැම් විට අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසයි.
හරම් හි අවසන් සීමාවන් වෙත පිවිසීමෙන් උම්රාවෙ හි තල්බියා අවසන් වෙයි. හජ් හි අවුරුදු දින ජම්රතුල් අකබාවට ගල් ගැසීමෙන් පසුව තල්බියා අවසන් වෙයි.
عَنْ سَهْلِ بْنِ سَعْدٍ قَالَ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ "مَا مِنْ مُسْلِمٍ يُلَبِّي إِلَّا لَبَّى مَنْ عَنْ يَمِينِهِ أَوْ عَنْ شِمَالِهِ مِنْ حَجَرٍ أَوْ شَجَرٍ أَوْ مَدَرٍ حَتَّى تَنْقَطِعَ الْأَرْضُ مِنْ هَاهُنَا وَهَاهُنَا" (أخرجه الترمذي وابن ماجه)
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව සහ්ල් ඉබ්නු සඅද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
කවර මුස්ලිම්වරයෙකු තල්බියා පවසන්නේ ද ඔහුගේ දකුණින් හෝ වමින් ඇති ගල්, ගස් හා බොරලු එය කෙතරම් දුරට ද යත් මහ පොළොව අවසන් වන තෙක් (එහි ඇති සියල්ල) ඔහු වෙනුවෙන් තල්බියා පවසයි. (මූලාශ්‍රය: තිර්මිදී, ඉබ්නු මාජා)
හජ් වන්දනා කරුවෙකු කළ යුතු අනිවාර්යය දෑ
හජ් හා උම්රා වන්දනා කරුවන් තමන්ගේ වන්දනාව යහපත් හා පිළි ගනු ලැබූ වන්දනාවක් බවට පත් කර ගනු පිණිස නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ක්‍රියා කළ අයුරින් එතුමාණන් අණ කළ පරිදි එය පිළිපදිමින් ඒ අනුව තම වත් පිළිවෙත් ඉටු කිරීම අනිවාර්යය වේ.
එමෙන්ම නැමදුම් ඉටු කිරීමෙ හි හජ් වන්දනා කරුවන් පමණක් නොව සෙසු ජනයා ද කැපවීමෙන් නිරත වීම අනිවාර්යය. එමෙන්ම තහනම් දෙයින් වැළකී සිටිය යුතුයි. බොරුවෙන්, කේලාම් පැවසීමෙන්, පුහු තර්කයන්ගෙන් තම දිව ආරක්ෂා කර ගත යුතුයි. දුෂ්චරිතයන්ගෙන් ඉවත් විය යුතුයි. දැහැමි තමන්ට සමීප මිතුරෙකු තෝරා ගත යුතුයි. තමන් ඉටු කිරීමට යන හජ් හා උම්රා සඳහා වූ වියදම පිවිතුරු හලාල් මුදලින් විය යුතුයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.
الْحَجُّ أَشْهُرٌ مَعْلُومَاتٌ فَمَنْ فَرَضَ فِيهِنَّ الْحَجَّ فَلَا رَفَثَ وَلَا فُسُوقَ وَلَا جِدَالَ فِي الْحَجِّ وَمَا تَفْعَلُوا مِنْ خَيْرٍ يَعْلَمْهُ اللَّهُ وَتَزَوَّدُوا فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى وَاتَّقُونِ يَا أُولِي الْأَلْبَابِ
හජ් (ඉටු කළ යුතු වන්නේ) මැනවින් හඳුනන මාසයන්හිය. කවරෙකු එහි හජ් අනිවාර්යය කර ගන්නේ ද ඔහුට හජ් හි ලිංගික ඇසුර ද පාපකම් ද නොමනා තර්ක ද (අනුමත) නැත. යහපතෙන් නුඹලා කවර දෙයක් කළ ද එය අල්ලාහ් මැනවින් දන්නේය. (හජ් වෙනුවෙන්) අවශ්‍ය කළමනා රැස් කර ගනිවු. සැබැවින්ම අවශ්‍ය කළමනා අතුරින් ශ්‍රේෂ්ඨ වන්නේ බිය භක්තිමත්කමය. තවද අවබෝධ කර ගන්නනි, නුඹලා මා හට බිය භක්තිමත් වවු. (අල්-කුර්ආන් 2:197)
· ඉහ්රාම්හි තහනම් කරන ලද දෑ
ඉහ්රාම් හි තහනම් කරන ලද දෑ යනු ඉහ්රාම් චේතනාව තැබීම හේතුවෙන් ඉහ්රාම් තබන්නාට තහනම් කරන ලද ක්‍රියාවන් වේ.
عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا أَنَّ رَجُلًا قَالَ يَا رَسُولَ اللَّهِ مَا يَلْبَسُ الْمُحْرِمُ مِنْ الثِّيَابِ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَا يَلْبَسُ الْقُمُصَ وَلَا الْعَمَائِمَ وَلَا السَّرَاوِيلَاتِ وَلَا الْبَرَانِسَ وَلَا الْخِفَافَ إِلَّا أَحَدٌ لَا يَجِدُ نَعْلَيْنِ فَلْيَلْبَسْ خُفَّيْنِ وَلْيَقْطَعْهُمَا أَسْفَلَ مِنْ الْكَعْبَيْنِ وَلَا تَلْبَسُوا مِنْ الثِّيَابِ شَيْئًا مَسَّهُ الزَّعْفَرَانُ أَوْ وَرْسٌ
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
මිනිසෙකු නබි තුමාණන්ගෙන් ‘අල්ලාහ්ගේ දූතයාණනි, ඉහ්රාම් චේතනා කළ අයෙකු කවර ඇඳුමක් ඇඳිය යුත්තේ දැ‘යි විමසුවේය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් ‘කමිස ඇඳිය නොයුතුයි. ජටා ද සරම් ද සාළු ද සපත්තු ද පැලඳිය නොයුතුයි. නමුත් කිසිවෙකුට සෙරප්පු දෙකක් නොලැබුණේ නම් එවිට සපත්තු ඇඳ ගනිත්වා! ඒ දෙක වළලු කර දක්වා කපා හරිත්වා! කුංකුමං හෝ සුවඳ ගැල්වූ කිසිදු ඇඳුමක් නොඇඳිය යුතුයි.‘ (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
· මිනිසෙකු, තමන්ට සෙරප්පු දෙකක් නොලැබුණේ නම් මිස මේස් හෝ සපත්තු ඉහ්රාම් වශයෙන් පැලඳීම සුදුසු කාර්යයක් නොවෙයි. එසේ සෙරප්පු දෙකක් නොලැබුණේ නම් සපත්තු පැලඳ ගැනීමට අනුමැතිය ඇත. නමුත් ඒ දෙක කපා හැරීමට අවශ්‍යතාවක් නොමැත. එසේ කැපීම සම්බන්ධ නීතිය පසුව වෙනස් කරන ලදී. සපත්තු යනුවෙන් අදහස් කෙරෙනුයේ තම වළලු කර ආවරණය වන පරිදි පලඳින පා පලඳනාවයි.
ඉහ්රාම් නිය්යතය තැබූ කතකට මේස් හා සපත්තු පැලඳීම අනුමතය. නමුත් ඉහත කී පරිඳි ඉහ්රාම් නිය්යතය තැබූ පිරිමියෙකු හෝ කාන්තාවක් හෝ අත් ආවරණය පැලඳීම සුදුසු නොවෙයි.
· ඉහ්රාම් නිය්යතය තැබූ පිරිමියෙකු හෝ වේවා කාන්තාවක හෝ වේවා පහත සඳහන් දෑ කිරීම ඔහුට හෝ ඇයට තහනම්ය.
1- හිස බූ ගෑම හෝ කොට කිරීම
2- නියපොතු කැපීම
3- පිරිමි අය හිස ආවරණය කිරීම
4- පිරිමි අය මසා නිම කළ ඇඳුම් ඇඳීම
මසා නිම කළ ඇඳුම් ලෙස අදහස් කෙරෙනුයේ ජුබ්බාවක් වැනි ශරීරයේ ප්‍රමාණයටම මැසූ ඇඳුමක් හෝ කමිසයක් කලිසමක් වැනි ශරීරයේ අඩක ප්‍රමාණයක් සඳහා මැසූ ඇඳුමකි. එමෙන්ම දෑතට අත් පලඳනා පාදයට සපත්තු හිසට තොප්පියක් හෝ ජටාවක් වැනි ශරීර අවයවයක ප්‍රමාණයට මසන ලද පලඳනාවකි.
5- සුවඳ විලවුන් භාවිතය හෝ ශරීරයට හෝ ඇඳුමට හෝ කවර ආකාරයකින් වුව ද සුවඳ දුම් ඇල්ලීම (සාම්බ්‍රානි ඇල්ලීම)
6- මූලික වශයෙන් අනුමත, කැලෑ සතුන් මැරීම හෝ දඩයම් කිරීම.
7- විවාහ ගිවිසුම් ඇති කර ගැනීම
8- කාන්තාව නිකාබ් හෝ බුර්කා මගින් මුහුණ ආවරණය කිරීම අත් ආවරණ පැලඳීම
9- ලිංගික ආශ්‍රයකින් තොර වුව ද අඹු සැමි ඇසුර. එසේ හැසිරීමෙන් ඔහුගේ හජ් හෝ ඉහ්රාමය නිෂ්ඵල නොවූව ද ඔහු මහා පාපියෙකු බවට පත් වෙයි. එවිට ඔහු ස්නානය කර පසුතැවිලි වී පාපක්ෂමාව අයැද සිට තම වතාවන් ඉටු කළ යුතුයි.
10- ලිංගික ඇසුර. මෙය තහනම් කරන ලද දෑ අතුරින් පාපයෙන් බලවත් විෂයයකි.
11- දුරාචාරයෙන් පාපකමින් තර්ක විතර්ක හා වාද වලින් වැළකී සිටීම
· කවරෙකු තහනම් කරන ලැබූ මෙම ක්‍රියාවන් අතුරින් යමක් නොදැනුවත්ව හෝ අමතක වීමෙන් හෝ බල කිරීමකින් හෝ කරන්නේ ද එවිට ඔහු කෙරෙහි පාපයක් නොමැත. ෆිද්යා හෙවත් සතෙක් කැප කිරීමට ද අවශ්‍ය නොමැත. නමුත් ඔහු තහනම් කරනු ලැබූ ක්‍රියාවෙන් ක්ෂණිකව ඉවත් විය යුතුයි.
දුරාචාරයන්, පාප ක්‍රියාවන් හා තර්කයන් හැර කෙනෙකුගේ අසනීපය හේතුවෙන් හෝ බල කිරීමක් හේතුවෙන් දැන දැනම උවමනාවෙන්ම යමෙකු කළේ නම් ෆිද්යා ලබා දීම ඔහු කෙරෙහි පැවරේ. එවිට ඔහු කෙරෙහි පාපයක් ඇති නොවෙයි. කිසිදු අවශ්‍යතාවක් හෝ හේතුවක් නොමැතිව එසේ කළේ නම් එවිට ඔහු පාපියෙකු වෙයි. ෆිද්යා පිළිබඳ සඳහන් කර ඇති අයුරින් ෆිද්යා ලබා දීමත් පසුතැවිලි වී සමාව අයැදීමත් තමන් කරමින් සිටි තහනම් දැයින් ක්ෂණිකව ඉවත් වීමත් ඔහුගේ වගකීමකි.
· ඉහ්රාම් තත්ත්වයේ සිටිය දී සංසර්ගයේ යෙදුන අයගේ නීතිය
කවරෙකු හජ් හෝ උම්රා සඳහා ඉහ්රාම් නිය්යතය තබා පසුව ඔහු ඉහ්රාම් තත්ත්වයේ සංසර්ගයේ යෙදුණේ නම් එයට අවස්ථා දෙකක් ඇත.
පළමුවැන්න : මිනිසෙකු නොදැනුවත් කමින් හෝ අමතක වීමෙන් හෝ බල කිරීමකින් හෝ තම බිරිය සමඟ සංසර්ඝයේ යෙදුණේ නම් ඔහු කෙරෙහි පාපයක් නොමැත. එමෙන්ම ෆිද්යා ලබා දීමේ අවශ්‍යතාවක් ද නොපවතී. ඔහුගේ හජ් කර්තව්‍යය නිවැරදිය.